Buscar

සුබ උපන් දිනයක්...!!!






රෑ අහසෙ තියන 
තරුවක් දිහා බලාගෙන
හීන මවන ඔයත්
ලස්සනම ලස්සන තරුවක්..
ආකාසෙම තියන 
හඳටවත් ලං වෙන්න බැරි
ලස්සනම තරුවක්.
ඉතින් මම කොහොමද ලං වෙන්නෙ??
ඒ හින්දා මම මේ පොළවෙ 
වැලි වලින් අඳින්නම්...
ඔයාට සුබ උපන් දිනයක්...!!!

එදා ඔබ.. අද මම...



ඔයා
මහා අයිස් කන්දක්
දිය කරලා වතුර බින්දුවක් ගන්න හදත්දි
තවතවත් මිදෙන්න හදන 
මහා අයිස් කන්දක් 
මම
ඒ අයිස් දිය කරලා
වතුර ටිකක් අත් දෙකට ගන්න 
බලාගෙන හිටියා

දැන්
මුලු උණුහුමම බින්දුවක්වත් ඉතිරි නොවෙන්නම
නැති වෙලා ගිහින්..

එක පාරටම මහා වතුර කන්දරාවක්
අත්දෙකම පිරෙන්න ගලාගෙන ඇවිත්
ඒත්... 
ගලාගෙන යන වතුර වල 
සීතලවත් නොදැනෙන්නම 
මම
සීතලෙන්ම මිදිලා ගිහින්. 

මගේ ආදරේ අන්තිම හුස්ම..



ඔයා අපේ හිත් වලට සතුට අරගෙන ආවා. අපේ මූණවල් හිනාවෙන් පිරෙවුවා. පුංචි පුලුන් බෝලයක් වගේ ඔයාව මම අත්දෙකෙන් අරන් ඉඹින්නෙ මට ඔයාව කොච්චර වටිනවද කියන්න වචන නැති නිසා.. ඔයා ඇඳ උඩ නිදාගෙන ඉත්දි ඔයා ලඟටම ඔලුව තියාගෙන මම ඉන්නෙ ඔයාට තියන ආදරේ වචන වලින් කියන්න බැරි නිසා.. ඔයා මගේ ළඟට ඇවිත් තාමත්  මාස 2ක් ඇති. ඒත් මුලු ජීවිතේම මාත් එක්ක හිටපු කෙනෙක් මාව දාලා ගියා වගෙයි.. ඒ නිසාමයි මම තාමත් උණුසුම නොගිය ඔයාව ඉඹලා ඇඬුවෙ. කවදාවත් නැතුව අද ඔයා තනියම මගේ ඇඳට නැගලා තිබුණා. ඒ වෙලාවෙ ගොඩක් ආදරෙන් ඔයා මගේ උකුළට අරන් තියාගෙන හිටියෙ. ඔයා මගේ කාමරෙන් එළියට යන්නෙ මාත් එක්කමයි. අද දවල් මතකද ඔය පුංචි කන් අතරෙ කහපාට මල් ගහලා හැඩ බැලුවා. මට නිකමටවත් හිතුණෙ නෑ ඔයා මෙහෙම යාවි කියලා. ඔයාගෙ සද්දෙට මම මෙතන ඉඳන් කෑ ගහගෙන දිව්වට කාමරේ දොර අල්ලන් මම නැවතුණා.. කියන්න වචන නෑ සුදු මැණිකෙ. ඔයා මට තිබුණ එකම සිහිවටනය. මට ලැබුණ වටිනාම තෑග්ග. හරියටම ඔයාව ඇස් දෙකක් වගේම පරෙස්සම් කරා පැටියො.. කටින් කියලා පොරොන්දු නොවුණාට හිතින් හැමදාමත් ඒ පොරොන්දුව රැක්කා.. 





ඒත් ඔයාව එක්කන් යන්න ඇවිත් මගේ ඇස් දෙක මොහොතකට අන්ධ කරලා දාලා මගේ පැටියාව අරන් ගියා.. හුස්ම ගියපු පුළුන් ගොඩක් මට ඉතුරු කරලා ඔයාව අරන් ගියා. ඔයා කැමැත්තෙන්ද යන්නෙ?? ඔයාගෙ පුංචි ඇස් දෙක ඇරිලා. මට පේන්නෙම මං දිහා බලනවා වගේ. ඔයාගෙ පුංචි අතක් අල්ලන් මම ඇඬුවා. මගේ පැටියා නැතුව කාමරේම පාලුවෙයි. නිල්පාට වට්ටියෙන් ඔයාව වහලා නිදාගන්න ආවාම බිම පහුරු ගානවා ඇහෙන්නෙ නැති වෙයි අද.. සමහර දවසට ඔයා බිම පහුරු ගාත්දි මම ආයිත් ඇඳෙන් නැගිටලා ඇවිත් ඔයාව වඩාගෙන ඉඳලා තියනවා. කොහෙ හරි යත්දි මගේ සුදු මැණිකෙව හොඳට බලාගන්න කියලා යන්න ඔයා නැති වෙයි.. මට ඉන්නෙ ඔයා විතරනෙ කියලා ඉඹින්න.. උම්මා එකක් ඉල්ලගන්න මගේ පැටියා නැති වෙයි. ඔයා ගැන මතකය හැම තැනම පිරිලා... කියන්න දාහක් දේවල් තියනවා. හැමෝගෙම හිත දිනාගෙන හැමෝම සතුටු කරපු මගේ පණ. ඔයා මට ලැබුණු දවසෙ ඉඳන් මම ඔයාට ආදරේ කරේ මගේ පණ වගේ. ඔයාගෙ ජීවිතේ වෙනුවට මගේ ජීවිත කාලෙ අඩුවුණා නම් මම කැමතියි.. ඒ පුලුවන් තරම් කල් ඔයා මාත් එක්කම තියාගන්න ඕන නිසා. ඒ තරමට ඔයාව මට වටින නිසා.. කමක් නෑ ඔයා යන්න. මගේ වටිනාම තෑග්ග අරන් ඔයා යන්න. ආයිත් කිසිම දවසක ඔයා එන්නෙ නෑ.. හැමදේකම අන්තිම හුස්ම ඔයා අරන් ගියා. හැමදේකම අන්තිම හුස්ම ඉතුරු වෙලා තිබුණෙ ඔයා ගාව. ඒ හුස්මත් අරන් ඔයා ගිහින්. මට ඉන්නෙ ඔයා විතරයි කියලා හැමදාම කිව්වාට දැන් මම කියන්නෙ මට හිටියෙ ඔයා විතරයි කියලා....



අමාවකයි අද මල් පෙති හැඬුවා...



පිනි බිඳු තැවරුණ සුදුවන් මල් පෙති
සීතල හුළඟට හෙමිහිට සැලුණා

හිරිකඩ තැවරුණු පින්නක සීතල
මල් පෙති අද්දර ඔච්චම් කෙරුවා

සඳ එළි සැඟවුණ කළුවර අහසේ
තරු එළි රහසින් මල දෙස බැලුවා
මැදියම් සීතල දැනෙනා මොහොතේ
මුව සිප ගන්නට පහතට ඇදුණා

සඳ කැන් දහරේ සිසිල ලබන්නට
පෙරුම්පුරාගෙන බලාන හිටියා
ඉර නැග එන්නට මොහොතයි තව දැන්
අමාවකයි අද මල් පෙති හැඬුවා...


(මේ මම මාර්තු 19 මූණු පොතේ ලියපු කවියක්. නොදැකපු අයට බලන්නත් එක්කම ඔන්න බ්ලොග් එකට දැම්මා..)

මම ඉන්නෙ මෙතන...

ම්ම්ම්... හංසි ඉන්නෙ විලකනේ.. ඉතින් කවදාට හරි මට මතක් වෙන්නත් එක්ක, යාලුවොන්ට එහෙම පෙන්නන්නත් එක්ක ඔන්න හංසි ඉන්න විලේ ෆොටෝ ටිකක් ගන්න හිතුණා.. ආස නම් බලන්නකො. 
මේ ඉන්නෙ මට 2006 දි අම්මා අරන් දීපු බෝනික්කෙකුයි, උපන්දිනේට තෑගි ලැබුණ ටෙඩී කෙනෙකුයි.



පිටිපස්සෙන් තියෙන්නෙ උපන්දින තෑග්ගක්..

මෙයත් වැඩිපුරම ඉන්නෙ මගේ කාමරේ..

මේ මගේ පොත් මේසෙ. පිළිවෙලක් නෑ කියන්න එපා..

මේ පින්තූරෙ මම ගත්තෙ BMICH එකේ පොත් ප්‍රදර්ශනෙන්.



ආසම නිල් පාටට නිසා හැමදේම නිල් පාටයි. 






මේ අපේ ගෙදර..  නංගි කියන්නෙ ඉදුණු පළතුරු ගෙඩියක්ලු.

මෙයා අපේ ගෙදරට අලුතෙන්ම එකතු උන අමුත්තෙක්



මෙතන තියන කබඩ් එකේ තමයි මම කියවපු පොත් ඔක්කොම තියෙන්නෙ

මෙයා මම ගත්තෙ වැවුරුකන්නලින්.. මටම ගැලපෙනවා..



මගේ උපන්දිනේ...




ඔන්න අද මගෙයි තාත්තාගෙයි උපන්දිනේ. එකම දවසෙ මෙහෙම උපන්දින තියන අය ඉන්නෙ ගොඩක් සීමිත ගානක් නේ.. එයින් එක පවුලක් අපේ පවුලත්. මම හිතන්නෙ අපේ තාත්තට ලැබුණු ගොඩක් වටිනාම උපන්දින තෑග්ග මම වෙන්න ඇති. කොහොම උනත් මගේ උපන්දිනේ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ දවස ගොඩක් විශේෂයි. ඉතින් මගේ තාත්තාටත් සුබම සුබ උපන් දිනයක් වේවා..!!


ඊයෙ ඉඳන්ම සුබ පැතුම් තෑගි ලැබුණා. E-soft මාතර ශාඛාවේ BIT- sem 1 එකේ හැමෝටමයි, කාර්ය මණ්ඩලයටයි ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. ෆේස්බුක් එකෙන් ඊයෙ ඉඳන්ම සුබ පතපු හැමෝටමයි.. ටික දවසක් පොඩ්ඩක් විතර තරහින් හිටියත් උපන්දිනේ අමතක නොකරපු මගේ ආදරණීය ජයනි නංගියාටයි, උපන්දිනේ ලබත්දිම මාව ඇහැරවලා හිතුවෙත් නැති වෙලාවක සුබ පතපු මගේ හොඳම යාලුවා වගේම හොඳම රණ්ඩුකාරයාටයි (උණ හැදිලා මහ රෑ ඇහැරුණ නිසාලු wish කරේ. chat කරලා තරහ වෙලානේ ගියේ.), ඒ වෙලාවෙම එස්.එම්.එස් එකක් එවපු A/L කාලෙ යාලුවෙක්ටයි.. ඊට පස්සේ.... උදේම කෝල් එකක් දීලා ආයුබෝවන් කියලා මගේ ආයුෂත් වැඩි කරලා නොහිතපු විදිහට සුබ පතපු මගේ ආදරණීය  මිත්‍රයා ජනරඟටයි, එවෙලෙම කෝල් කරපු මගේ හොඳම යාලුවා අනූටයි, දැනට අවුරුදු ගානක ඉඳන් කවදාවත් දැකලා නැති උනත් හැමදාමත් සුබපතන "අම්පෙගම අයියා"ටයි,  හැමදාමත් ඕනම දෙයකදි මාත් එක්ක ඉන්න පබාටයි, උදේම මම දැනට භාවිතා නොකරන email address එකකට ඊමේල් එකක් එවලා ඊමේල් බලන්නෙ නැද්ද අහ අහ හිටපු අපේ නංගිටයි, ලස්සනම ලස්සන සුබ පැතුමක් එක්ක තවත් සුබ පැතුමක් එවපු NNKටයි (කේක් එකකුත් එවුවා.. ඔයා හොරෙන් කෑවාට මම නම් කේක් එක බෙදනවා.),  තාමත් සුබ පතන හැමෝටමයි.. (නම් නොකියවුණාට තරහා වෙන්න එපා.) ගොඩක්ම ස්තූතියි.


උපන්දිනය වෙනුවෙන් මාව සතුටු කරන්න හැම වියදමක්ම දරන අපේ අම්මායි තාත්තායි, මම්මායි, ලොකු අම්මායිත් ආදරෙන් මතක් කරනවා.

මෙන්න මගෙන් කේක් එකක්.. මම ආසම ෆැන්ටා තමයි පහලින් තියෙන්නෙ. කේක් කාලා ෆැන්ටා බීලා යන්න.


පුර හඳ..



වැවට උඩින් පායපු රත්තරන් පාට පුර හඳ

ලස්සනට රත්තරන් පාටින් දිළිසෙන රත්තරන් වතුර කන්දරාව..
කළු පාටින් පේන අතු විහිදුන ගහක්..
ඇස් දෙකෙන්ම දැකපු ඒ ලස්සන පින්තූරෙ 
මම අවුරුදු ගානක් හොයපු පින්තූරෙ
මටවත් මතක නෑ ඇයි මම හොයන්නෙ කියලා
අදයි මතක් උනේ.
අවුරුදු ගානකට කලින් වෑන් එකේ වම් පැත්තෙ වීදුරුවෙන් මම දැක්කෙ.
පරාක්‍රම සමුද්‍රයට උඩින් පායලා තිබුණ හඳමයි මම හෙවුවෙ...
ඒ වගේම පින්තූරයක් මේ තියෙන්නෙ.
එදා දැක්කා වගේම නෑ තමයි...
ඒත් ඒ වගේමයි.
ඒ හඳ ඔයාත් දකින්න ඇති, සමහර විට මට වගේම ඔයාටත් මතක නැතිව තියෙන්නත් ඇති.
අහම්බෙන් වගේ ඔයාටත් මතක් උනොත් කවදාක හරි, එදාට ඔයාත් හිතන්න පටන් ගනීවි, ඔයාගෙ එකම වචනයක් පවා මහමෙරක් කරගත්ත කෙනෙක් ඒ පුරහඳ ඒ වගේම දකින්න ඇත්ද කියලා.....

ප.ලි- පින්තූරෙ දකිත්දි මතක් උන වචන ටිකක් විතරයි. මේක නම් ඉර පායන වෙලාවක ගත්ත පින්තූරයක් කියලයි තිබුණෙ.

දූවිලි සුවඳ...



මම ආසම සුවඳ මොකක්ද කියලා මතක් කරත්දි මට මුලින්ම මතක් වෙන්නෙ දූවිලි සුවඳ.. පුංචි කාලෙ ඉඳන්ම පායලා පායලා පුංචි පොදක් වැටෙද්දි දැනෙන  නැවුම් සුවඳට මම ගොඩක් ආදරේ කරා. මම ඒ සුවඳ ඉවකරේ පුංචි බළල් පැටියෙක් වගේ. ඒ සුවඳ ජීවිතේම අලුත් කරනවා වගෙයි මට දැනෙන්නෙ. ඒ වගේමයි ඉස්සර මම පුංචිම කාලෙ අපේ වත්තටත් හරක් එනවා.. දැන් නම් හරකෙක් දකින්නවත් නෑ. හරක් ඇවිත් තණකොළ කත්දි ගෙයි ඉඳන් උනත් කියන්න පුලුවන්. එතකොටත් එන්නෙ අමුතුම සුවඳක්. ඒ සුවඳ හරක්ගෙන් එන සුවඳක්ද තණකොල පොඩි වෙත්දි එන සුවඳක්ද මන්ද. ඒත් ඒ සුවඳ එන්නෙ හරක් ඉත්දි විතරයි. ඒ සුවඳටත් මම හරි ආසයි. පුංචි කාලෙ ඒ සුවඳ එනකොට චක්කා පැටවු ඇවිත් කියලා ගේ ඇතුලෙ ඉඳන් මම මිදුලට ගිහින් ඒ සුවඳ එන්නෙ කොහෙන්ද හොයනවා. මට තාමත් මතකයි අපේ වත්තට එන හරකුන්ට මම මොනවා හරි කන්න දෙනවා. උන් ලඟට ගිහින් අතගානවා. 



මම කවදාවත් මොන්ටිසෝරි ගිහින් නෑ. මම හිතන්නෙ අපේ අම්මා ගත්ත හොඳම තීරණේ ඒක වෙන්න ඇති. ඒ නිසාම මට අම්මලාගාව හුරතල් වෙවී ගොඩක් දවස් ඉන්න ලැබුණා. මට හැමදේම ඉගැන්නුවෙ අම්මා. ගුරුවරියක් උන අපේ අම්මා මාව ඉස්කෝලෙට එක්කන් ගිහින් මේසෙ උඩ තියාගෙන ළමයින්ට උගන්වනවා. අම්මාට වෙනම කාමරයක් තිබුණ නිසා ඒක කාටවත් කරදරයක් උනේ නෑ. අම්මා හවසට හැමදාම මට ඉංග්‍රීසි උගන්නනවා. කතා කියලා දෙනවා. ඒත් අම්මාට ඉක්මනට තරහා යනවා. මම වැරැද්දුවාම අම්මා ගහනවා. ඒත් ඊට පස්සෙ මාව වඩාගෙන ඉඹිනවා. මොනවා හරි කඩෙන් ගෙනැත් දෙනවා. මම ඉස්කෝලෙ 1 වසරට ඇතුල් කරත්දි මට හොඳට සිංහල, ඉංග්‍රීසි හෝඩිය ලියන්න පුලුවන්. ගණන් හදන්නත් පුලුවන්. කවදාවත් ඉස්කෝලෙදි මම ඉන්න බෑ කියලා අඬලා නෑ. අම්මා උගන්වපු විශයෙ ගොඩක් දේවල් මම 2 වසර වෙත්දි කටපාඩමෙන් කිව්වා. (අම්මා ඉගැන්නුවෙ 6න් ඉහල පන්තිවලට හොඳේ..)


මාව ගොඩක් දවසට ඉස්කෝලෙ ඇරිලා එක්කන් ආවෙ තාත්තා. බස් එකෙන් බැහැලා හන්දියෙ කඩෙන් තාත්තා ෆැන්ටා එකක් අරන් දෙනවා. ඒක බෝතලේට දාගෙන බි බී මම ගෙදර එන්නෙ. ඒ නිසාම වෙන්න ඇති තාමත් මම මොනවා හරි බොන්න කඩේකට ගියොත් ඉල්ලන්නෙ ෆැන්ටා. ඒ රස මගේ නහර වලට පවා ඇතුල් වෙලා ඇති. තාත්තා ඉක්මනට අඩි තියලා යත්දි මම තාත්තා පස්සෙන් යන්නෙ දුවගෙන වගේ. ඒ කාලෙ අමුතුම ලස්සනක් තියනවා.


අපේ ගෙදර සෙල්ලම් බඩු ගොඩක් තියනවා එකතු කරපුවා. දැන් නම් වෙනමම පෙට්ටිවල දාලා අරන් තියලා තියෙන්නෙ. වීසි කරන්න දුකට. ඒත් මම බෝනික්කන්ට, කාර් වලට ආස කරේ නෑ. සත්තු ඉන්න සෙල්ලම් බඩු වලට මම ගොඩක් ආසයි. මට අම්මා ගෙනැත් දීලා තිබුනා සත්තු වත්තක් හදන සෙට් එකක්. ඒකට මම ගොඩක් ආස කරා. ටීච කෙනෙක් විදිහට ඇඳගෙන සෙල්ලම් ගෙවල් දාන්න මම ආස කරේ. ශිෂ්‍යත්වෙටවත් අම්මා පන්ති වලට යවන්න කැමති උනේ නෑ. අම්මාගෙ ඉස්කෝලෙ මිස් කෙනෙක්ගෙ පන්තියකට මාසයක් විතර ගියත් මම ඒකෙනුත් නැවතුණා. ඒත් සතර පොත්, ප්‍රශ්ණපත්‍ර ගොඩක් ඒවටත් එක්ක අම්මා මට කරන්න දුන්නා. මාත් ශිෂ්‍යත්වෙ පාස් උනා. ඒත් වෙන ඉස්කෝලෙකට යවන්න අම්මා කැමති උනේ නෑ. 


ඒ කොහොම උනත් පුංචි කාලෙ ඉඳන් දුක තේරුම් ගන්න මට ලැබුණා. අඩාගෙන හිටපු දවස් අනන්තයි. දේවාල ගානෙ හැමදාමත් අම්මා එක්ක ගියා. අම්මා එක්ක ඇඬුවා. අම්මාගෙ හිත හැදුවා. පුංචිම පුංචි කෙල්ලෙක් විදිහට මම ජීවිතේ තේරුම් ගත්තා. මටම පුදුමයි කොහොමද මම ඒ තරම් හිත හයිය කරගෙන හිටියෙ කියලා. 6 වසරෙන් පස්සෙ පටන් ගත්ත කාලෙ ඊටත් වඩා නපුරුයි. අපේ අයියා එක්ක තිබුණේ ලොකු තරහක්. එයාට අපේ තාත්තා ආදරෙන් සළකත්දි මට ඉරිසියාවක් තිබුණා. එයා අපේ ගෙදර හැදුණාට අපේ අම්මාගෙ තාත්තාගෙ දරුවෙක්ට වගෙයි එයාට සැළකුවෙ. ඒ තරහාට ලොකුම හේතුව ඒකම නෙවෙයි. අපේ ගෙදර ප්‍රශ්ණ ඇති වෙත්දි එයා පාඩුවෙ බලන් හිටියා. ඉඩම් නිසා සහෝදරයො තරහාකාරයො වගේ වැඩ කරත්දි පුංචි මම කෑ ගැහුවෙ අනේ අපේ තාත්තට මෙහෙට වෙලා ඉන්න කියන්න කියලා. එයා නිහඬව හැමදාමත් ඉත්දි මම එයාට වෛර කරා.


උදේ පාන්දර පොල්කිච්චො දකින්න හොඳ නෑලු. දුකක් එනවලු. හැමදාම බයත් එක්ක ජීවත් උන මගේ හිත තවත් බය වෙනවා පොල්කිච්චො දැකලා. හවස 5 පහුවෙත්දි මම හිටියෙ දෙවියන්ට කිය කිය. ඒ බය වචන වලින් කියන්න මට බෑ. මහා ලොකු ප්‍රශ්ණ කන්දරාවක් එක්ක ජීවත් වෙත්දි තාත්තා ගැන මට දැනුණෙ ලොකු බයක්. මම හැමදාම ඉස්කෝලෙ යත්දි  තාත්තාට දණ ගහලා වැඳලා එක ඉල්ලීමක් හැමදාම ඉල්ලුවා. තාත්තා මට ගොඩක් ආදරේ කරා හැමදාම. දැන් නම් හැමදේම වෙනස් වෙලා. අපේ ජීවිත ගලාගෙන යනවා. ඉඩම් බෙදුවා. කැමති අය විකුණුවා. තාමත් නඩු කියනවා. ඒත් කරදරයක් නැතුව අපි අපේ ගෙදර ඉන්නවා. ඒත් තාමත් පොල්කිච්චො දකිත්දි මගේ හිත ගැස්සෙනවා. මදුරුවෙක්වත් මරන්නෙ නැති මම මේ ළඟක් වෙනකම්ම පොල්කිච්චන්ව නම් පැන්නුවා.


ඒ ලෙවෙල් කාලෙ වෙත්දි පවුල් අතරෙ කිසිම ප්‍රශ්ණයක් නොතිබුණ තරම්. මොන ප්‍රශ්ණෙ ආවත් අම්මයි තාත්තයි ලොකු කැපවීමකින් අපිට ඉගැන්නුවා. ශිෂ්‍යත්වෙටත් එක්ක හරි යන්න 6 වසරෙන් පස්සෙ හැමදාම හවස් වරු ටියුෂන් වලින් පිරුණා. තරඟයත් එක්ක එහෙම නොකරත් බෑ.. A/L වෙත්දි පැය ගානට සල්ලි දීලා ගුරුවරු ගෙන්නුවා. කලා විෂයන් වලින් අවුරුද්දකින් කැම්පස් එවන්න මට වඩා අම්මා මහන්සි උනා. සල්ලි දේපළ වලට වඩා උගන්වන එක වටිනවා කියලයි හැමදාමත් අම්මා කිව්වෙ. හැමදේකින්ම මම ගොඩක් අහිංසක උනා, පරාර්ථකාමී උනා, අවංක උනා, තාර්කික උනා... ඒ අම්මා මට ඉතුරු කරපු දායාද. 


ආපස්සට හැරිලා බලත්දි මට මං ගැන සතුටුයි. මම ජීවිතේට මුහුණ දෙන්න පටන් ගත්තෙ 2, 3 වසරෙ ඉඳන්. හැමෝගෙම හිත් හදන්න එදා ඉඳන්ම මම කැප උනා. දැන් අපේ අයියා සිවිල් ඉංජිනේරුවරයෙක් විදිහට වැඩ කරනවා. දැන් අවුරුදු 3ක චූටි දුවෙකුත් ඉන්නවා. එයා එක්ක දැන් මගේ කිසිම තරහක් නෑ. ඒත් අදටත් මට මතක නෑ පුංචිම කාලෙන් පස්සෙ මම සෙල්ලම් කරපු දවසක්. බයෙන් හිත පුරෝගෙන කඳුලු වලින් ඇස් පුරෝගෙන ඉක්මනටම දවස ගෙවෙනකම් බලන් හිටපු කෙල්ලෙක් මිසක් සෙල්ලම් කරන කෙල්ලෙක් මට මතක් වෙන්නෙ නෑ.ඒ නිසා වෙන්න ඇති අදටත් ගමේ ගියාම මගේ චූටි මල්ලියි, අපේ නංගිලයි මල්ලිලයි එක්ක එකට හැංගිමුත්තම් සෙල්ලම් කරේ. සෙල්ලම් ගෙවල් දැම්මෙ. ඒත් ඒ හැමදේකමත් අමුතුම ලස්සනක් තියනවා. කොහොම උනත් පොද වැස්සක් එක්ක දැනෙන දූවිලි සුවඳ ජීවිතේට නැවුම් බවක් ගේනවා. 

සදාදර සිහිවටනය නොමී....

 මේ නොමී පුංචි කාලෙ. මාර්තු 19 ගත්ත ෆෝටෝ 1ක්..

දවසක් මම කැම්පස් ඉඳන් ඇවිත් ගෙදරට කතා කරත්දි අම්මා මට අලුත් ආරංචියක් කිව්වා. ඒ අපේ ගෙදරට පූස් පැටියෙක් ගෙනාවා කියලා. මම පුංචිම කාලෙ හිටපු පූසන්ගෙන් පස්සෙ අපේ ගෙදර පූසො ඉඳලාම නෑ.. මම ගෙදර ගියේ එයාව බලන්න ගොඩක් ආසාවෙන්. මාව දැක්ක ගමන්ම වලිගෙත් පුම්බගෙන ගෙට ගිහින් හැංගුණාට මම ආයිත් කොළඹ එන දවස වෙත්දි එයා මාත් එක්ක හොඳටම යාලුයි. මම එයාට දාපු නම තමයි නොමී.. මගේ ලැප් එකට හේත්තු වෙලා නිදාගෙන ඉන්න එයා ගොඩක් ආසයි. ඉස්සර මම චැට් කරත්දි එයා කී බෝඩ් එක උඩින් ඇවිදන් ගිහින් enter කරලාමයි යන්නෙ. එතකොට මම " ඒ අපේ නොමී" කියලා කිව්වෙ ගොඩාක් ආඩම්බරෙන්. ලැප් එක ලඟ නොමී ඉන්න ආස නිසාම අපේ නංගි මම එත්දි නොමීට කියන්නෙ ලැප් ටොප් කුමාරි එනවා කියලා.


අපේ සිඟිති (කලින් හා පැටියා) එක්ක එයා සෙල්ලම් කරා. දැන් ඉන්න සුදු මැණිකෙත් එක්ක එකට බත් කත්දි අපි ආසාවෙන් බලන් හිටියා. එයා හැමදාම ඉන්නෙ ගේ ඇතුලෙ. ඕනම දේකට ඇරෙන්න එයා ගෙදරින් එළියට යන්නෙ නෑ.. අපේ චූටි, ජිමී එක්කත් (අපේ බලු සේනාව.) එයා යාලුයි. ජිමී එක්ක ගේ  වටේ දුව දුව සෙල්ලම් කරන හැටි මම ආසාවෙන් බලන් හිටියා. එයාලාගෙ වැඩේම නොමීගෙ ඇඟේ කෙළ ගාන එක. මම ගෙදර ගිය දවසට නොමී නිදාගන්න එන්නෙ මගේ ලඟට. මගේ අතට ඔලුව තියාගෙන පුංචි බබෙක් වගේ එයා නිදාගන්නවා. කිරි අම්මා නැති උනාට පස්සෙ මම හැමදාම වගේ නිවාඩු දවස් වලට ගමේ ගියා. ඒ නිසාම ගොඩක් දවසකින් ගෙදර යන්න බැරි උනා. මාස දෙකහමාරකට විතර පස්සෙ ගෙදර යත්දි අම්මා මට වෙනමම කාමරයක් ලෑස්ති කරලා තිබුනා. එතකොට නංගි කිව්වෙ නොමී දැන් මගේ ලඟට එන එකක් නෑ මෙච්චර දවසක් නිදාගත්තෙ නංගි ලඟ කියලා. ඒත් එදා රෑ වෙත්දි මාව හොයාගෙන මගේ කාමරේට ඇවිත් මගේ ඇඳ උඩ එයා නිදාගෙන. එදා මට එයා ගැන ගොඩාක් දුක හිතුණා.


එදා දවල් වෙත්දි අත්තා නැති වෙලා නිසා ආපහු අපි ගමේ ගියා. ඒ වැඩත් ඉවර වෙලා ආපහු මම ගෙදර ආවාම මගේ කාමරේ තීන්ත ගාන්න ඕන නිසා මට ආපහු නංගි එක්ක නිදාගන්න යන්න උනා. ඒ හැමදවසකම නොමී ඇවිත් නංගිගෙයි මගෙයි මැදින් ඇඳේ නිදාගන්නවා. එයා හැදුනෙ අපේ ගෙදරම කෙනෙක් වගේ.. අපි දෙන්නාට කිරි හදන්නත් කලින් සමහර දවසට අම්මා නොමීට කිරි හදලා දෙනවා. හැබැයි ඒ කිරි එකෙන් බාගයක් බීලා මගේ කිරි එකෙන් ඉතුරු කරලා එයාගෙ පුංචි පිඟානට දැම්මාට පස්සෙයි ඉතුරු ටික බොන්නෙ. එයා හැමදාමත් 10 පහුවෙනකම් නිදාගන්නවා. (කම්මැලියෙක්.) මගේ ඇඟට හේත්තු වෙලා නිදාගෙන ඉත්දි මම හොරෙන්ම නැගිටලා එයාට පොරවලා ඇඳෙන් බැහැලා යනවා. අපි අතරෙ තිබුනෙ ඒ වගේ බැඳීමක්. හරියට දරුවෙක්ට, සහෝදරයෙක්ට සලකනවා වගේ වෙන්න ඇති.


ඒත් මේ සතියෙ සඳුදා එයාට උණ තිබුනා. කෑවෙත් නෑ. මම කොළඹ එත්දි අම්මාට කියලා ආවෙ බෙහෙත් අර දෙන්න කියලා. ඩොක්ටර් එයාට ඉන්ජක්ෂන් 3ක් විදලා තිබුණා.. පව්.. ආයිත් බදාදා මම ගෙදර යත්දි එයාට ගොඩක් අමාරුයි.දවලුත් වමනෙ ගිහින්. හවසත් වමනෙ ගිහින් තිබුණා. නංගි පොවාපු ග්ලූකෝස් වතුට ටිකයි බෙහෙතුයි ඔක්කොම එක්ක කලු පාටට වමනෙ කරාලු. ඊළඟ දවසෙ මම ක්ලාස් ගියා. එයා උදෙත් වමනෙ දාපු නිසා වෙන ඩොක්ටර් කෙනෙක් ලඟට එක්කන් ගිහින් තිබුණා. උණ බලලා සේලයින් දීලා ඉන්ජක්ෂන් 3ක් විද්දාලු එයාත්. ඒත් කලින් ඩොක්ටර්ට වඩා ගොඩක් ආදරෙන් නොමීගෙ ලෙඩ බැලුවා කියලායි නංගි කිව්වෙ. එදා හවස මම ආපහු කොළඹ ආවා. එන්න හදනකොට එයා ගෙයින් එළියෙ නිදි. කවදාවත් ගෙයින් පිට නිදාගන්නෙ නැති නොමී ඇයි අද එළියෙ කියලා අහලා මම එයාව වඩාගෙන ගෙට ගෙනාවා. වඩා ගනිත්දි එයා ගොඩක් අමාරුවෙන් කෙඳිරි ගෑවා. 


ගෙයින් එළියට බැහැලාත් එයාව දාලා එන්න බැරුව මම නැවතිලා එයාගෙ ඔලුව අතගගා හිටියා. අම්මාගෙ ෆෝන් එකෙන් ෆෝටෝ එකකුත් අරන් තියලායි මම ආවෙ. ඇවිල්ලාත් මම නොමී ගැන අහුවා. ඒත් අද උදේ අම්මාගෙන් අහත්දි නොමී ඊයෙ රෑ 1.10ට නැති උනාලු. කලුපාටට වමනෙ දාලා ඉවරවෙත්දිම හුස්ම ගියා කිව්වා. අඬාගන්න කඳුලු නැති උනාට මගේ පපුවෙ මොකක්දෝ හිර වෙලා වගේ දැනුණා. මුළු ඇඟම වෙවුලනවා වගේ දැනුණා. ආයිත් මගේ ගාව නිදාගෙන ඉන්න, කිරි කෝප්පෙ අතට ගනිත්දි කකුලෙ දැවටෙන්න, මගේ සුදු මැණිකෙ එක්ක සෙල්ලම් කරන්න, ජිමී එක්ක ගේ වටේ දුවන්න නොමී එන්නෙ නෑ.. උඩට ගත්ත හුස්ම පහළ දාන්න බැරි තරම් හිත බරයි. කඳුලු එන්නෙ නැති තරමට කඳුළු හිඳුන මගේ ඇස් දෙක ඉස්සරහා අද මම අසරණ වෙලා. මට ඕනෙ අඬන්න. මගේ නොමී ගැන කිය කියා අඬන්න. ඒත් ඒකට ඉඩක් නෑ. මගේ හිතේ හිර උන මතකයත් අරන් මම හැමදාම ඔයාව මතක් කරාවි. ඔයා හොඳ ආත්මයක් ලබන්න. ගොඩක් සතුටින් ජීවත් වෙන්න. පුලුවන්නම් ඊළඟ ආත්මෙකදිත් මගේ ලඟටම එන්න. ඔයා දන්නෙ නැති උනාට නොමී, මේ ඉන්ටනෙට් එක පුරාවට මම මෙච්චර දවසක් ඇවිද්දෙ මගේ නොමීගෙ නමත් එක්ක.. ඔයා නම් ඒක දැනන් ඉන්න නැතුව ඇති.

හැම ආත්මෙකදිම නොමී අපි අතරේම ඉපදේවා..!!
 
මේ නොමී සිඟිතිත් එක්ක.. 

ප.ලි- නොමීට ඉක්මනට සනීප වෙන්න කියලා ඊයෙ පෝස්ට් එකක් දාන්න හැදුවෙ. ඒත් මට බය හිතුණා එයා ගැන කිව්වාම එයා ඉක්මනට මැරේවි කියලා.

නුඹ නොවුණ නුඹ..


ජීවිතේ පුදුමාකාරයි. කොයි වෙලාවක හරි අපිට ගොඩක් ආදරේ කරපු කෙනෙක්ගෙ නමක් එක පාරටම අහන්න ලැබෙද්දි දැනෙන හැඟීම කොයි වගේද?? ඒ නම තියන කෙනාත් අපේ හදවතට සමීප වුන රූපයක් නම්?? අපි ගොඩක් ආදරේ කරන කෙනෙක්ට කතාකරන නමක් තව කෙනෙක්ටත් ගැලපෙනවා කියලා හිතෙත්දි ඒ කෙනාගෙ නම අපේ හදවතේ ඉන්න කෙනාගෙම නම නම්??? කොයි තරම් අපූරු හැඟීමක්ද දැනෙන්නෙ? නොගැලපීම් ගොඩක් මැද ඔයාගෙ ආදරය පිළි නොගත්තත් ඔයා ගැන මතක් කරත්දිත් දැනෙන්නෙ හිත පිරුණු ආදරයක්... මම ගැනම දැනෙන ආත්මානුකම්පාවක්. ගොඩක් කාලෙකට පස්සෙදි එදා ගත්ත තීරණේ මුළු ලෝකෙටම සාධාරණ උනත් මට සාධාරණ නැති බව දැනෙත්දි ඔයා නෑ..


මේ ජීවිතේම හීනයක් උනා නම් නපුරු හීන දකිත්දි ඇහැරෙන්න තිබුනා.. ලස්සනම ලස්සන හීන දකිත්දි ඒ හීනෙට වෙලා ඉන්න තිබුණා.. ඒත් නපුරු හීනයක් දකිත්දි ඇහැරිලා ඒක හීනයක් විතරයි කියන්න පුලුවන් උනාට මේ ජීවිතේදි ඒක කරන්න බෑනේ. ලෝබකම් පොදි බඳින්න එපා කිව්වාට ඔයා ගැන ලෝබ වෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද? හැමදේම හීනයක් වෙලා... හීන ලෝකෙ ගොඩක් ලස්සනයි හැබෑ ලෝකෙට වඩා. ඒ.. ඒ ලෝකෙ ඔයා මාත් එක්ක ඉන්න නිසා.. 

ලස්සනට ගස් පිරුණු හෙවණ තියන පාරක් දිගේ අතින් අල්ලන් ඇවිදන් යන්න ඔයා එන්නෙ නෑ. ඉර බැහැගෙන යන වෙලාවක මුහුදු වෙරළෙ රළ දිහා බලාගෙන කතා කරන්න ඔයා එන්නෙ නෑ.. වෙල් යායක පිදුරු ගොඩකට හේත්තු වෙලා ඉඳන් මං කියන දේවල් අහන් ඉන්න ඔයා එන්නෙ නෑ. ගොඩක් ලස්සන ප්‍රේම කතාවක් අපි දෙන්නා වෙනුවෙන්ම ලියන්න ඔයාට බෑ.. ඒත් ඒ ආදරය ගාණකටවත් ගන්නෙ නැතුව ඔයාව මගේ ජීවිතෙන් ඈත් කරලාම දැම්මෙ මමම නෙවෙයිද? ඒ ලස්සන කතාව අපි දෙන්නාම වෙනුවෙන් ලියවෙන්න ඉඩක් නොදුන්නෙ මමම නේද? 

හැමෝගෙම සතුට මගේ සතුට විදිහට හිතපු මට, මම කියන්නෙ වෙනමම කෙනෙක් කියලා දැනෙන්න පටන් ගත්තෙ නැත්නම් කොච්චර හොඳද?? ආයිත් මොනවාදෝ ලිවුවා. ජීවිතේට අරමුණක් හොයාගෙන යත්දි අහම්බෙන් හමුවුණ රූපයක්.. විශේෂ වෙන්නෙ ඇයිද මන්දා... ඒත් විශේෂයක් දැනුනා. අහම්බෙන් වගේ නම කියත්දි ඒ නමත් ඔයාගෙ නමමයි.. දුක හිතන්නද සතුටු වෙන්නද මන්දා ඒත් හිතට දැනෙන්නෙ නම් සතුටක්. ඒත් මම දන්නවා එහෙම නොවුණා නම් හොඳයි. මම හැමදාමත් ඒ නම හොයාවිද?? ඒත් ඒ නම අයිති රූපෙත් මම හොයයිද?? එහෙම උනොත් ඒකත් දුකක් විතරක් නෙවෙයිද??
 

කියවන්න එකතුවෙන්න..