Buscar

අසම්මත ප්‍රේමය නොහොත් ඇගේ පාපොච්චාරණය


(මෙම සිදුවීම සමාජයේ පවතින්නක් වුවද මනඃකල්පිතයක් පමණක් බව සලකන්න. මා දන්නා අයෙකුගේ ජීවිත කතාවක් ඇසුරින් ලියන ලද්දකි.)
ඔහු දකින හැම මොහොතකම දිඟු අතීතයකට මා සිත ඉගිල යන්නේ නිරායාසයෙනි. ඒ ඔහු මෙන්ම මාද පාසල් යන අවදියයි. වයසින් මට වඩා වසර කිහිපයක් බාල වූ ඔහු මගේ ඥාතියෙකුද විය. වයසින් අවුරුදු 14ක් පමණ වුවද වයසට සරිලන ලෙස හෝ ඊටත් වඩා කඩවසම් වූ ඔහු ඕනෑම ගැහැණු ළමයෙකුගේ සිත දිනා ගැනීමට තරම් වූ රූපයකට හිමිකම් කීවේය. එසේම එක එල්ලේ බලාසිටීමට නොහැකි තරම් වූ කාන්තිමත් දෑසක් ඇති ඔහු වෙත සිත නොයන කෙල්ලෙකු ඇත්නම් එය පුදුමයකි. ගින්දරත් පුළුනුත් ළං නොකරන්නැයි යන පැරණි කියමන සපථ කරමින් එක් කාළයක අප ලං වූ හැටි අද මෙන් මතකයේ ඇත. විහිළුවකින් දෑත් පටළවාගෙන සිටි අප ඉන් අනතුරුව ඕනෑකමින්ම දෑත් අල්ලාගෙන සිටියේ දෑත් වෙන් කරන්නට ලෝබකමකින් මෙනැයි මට දැන් සිතේ. ඔහුගේ වමතට සිරවූ මගේ දකුණත ගලවාගැනීමට මා නොපෙළඹුනේ ඔහුගේ දෑතේ පහසට වශීකෘතව සිටි නිසාවෙනැයි මට සිතේ. මගේ ජීවිතයේ පළමුවරට මාගේ දෑත අල්ලාගෙන සිටි එකම කෙනා ඔහුවීමත් පැය ගණනාවක් තිස්සේ දෑත් පටලවාගෙන සිටීමත් නිසාවෙන්දෝ අදටත් ඒ අත්දැකීම මට අමතක කරගත නොහැකිව තිබේ.


වසර ගණනක් ගෙවී ගියද මට ඒ සියල්ල මතක ඇතිවාක් මෙන්ම ඔහුටත් යම් විටක ඒ සියල්ල අමතක නොවී ඇතැයි සිතිය හැකිව ඇතිමුත් වගකීම් දරන වයසක සිටින නිසාත් ළමාවිය පසුකර ඇති නිසාත් පිරිමියෙකු වශයෙන් බොළද විය නොහැකි නිසාත් ඔහු මේ සිදුවීම් සියල්ලම කාළයේ වැලි තලාවෙන් යටකර ඇතිවාට සැකයක් නැත. නමුත් අදටත් ඔහුගේ සිත උමතු කරවන බැල්ම සහිත දඟකාර දෑස මා දෙස බලන්නේ මතකය යම් අංශුමාත්‍රයක් හෝ රැඳී ඇති ආකාරයක් මා සිතේ මවමිනි. 


නිවසේ කිසිඳු වැඩක් පලක් මා අතින් ඉටු නොවුණද එදින මා පොල් ගාන්නට වූයේ කුමන හේතුවක් නිසාදැයි මට මතක නැති වුවද, මේසයට සවි කර තිබූ හිරමණයෙන් පොල් ගාත්දී මගේ දෑත් මත ඔහුගේ දෑත ද තැබූ ආකාරයත් ඉන් පසු මා දෙස බලා සිටි ඔහුගේ දෑසත් අපහසුවකින් තොරව මට සිතේ මවා ගත හැකිය. ඔහු මා නිවසින් පිටත්ව ගිය පසු සවස 5 පමණ වන තෙක්ම මා ඇඳටම වී සිටි අයුරුත් ඉන් පසු පළමු වරට ඔහු මා හට දුරකථනයෙන් කතා කල මොහොතත් සදාකල්හි අමතක නොවණු ඇත. අප අතර කිසියම් දිනක සොයුරු පෙමක් පැවතුනිද යන්න සැක සහිත වුවත් අප්‍රකාශිත පෙමක් එක මොහොතකදී හෝ පැවති බව නම් ස්ථිරය. 


මා දන්නා තරමින් ඔහුට පෙම් සබදතාවයක් තිබී ඇතිමුත් අදටත් එම සම්බන්ධය පවතීද යන්න මා නොදනී. එවැනි සම්බන්ධතාවයක් පැවතියද ඒ පිළිබඳව මා සිත් තුළ ඇත්තේ උදාසීන හැඟීමකි. කාළය ගලා යන්නේ වැසි කාළයේ ගංගාවකටත් වඩා වේගයෙන් යැයි සිතේ. ඒ කාලය කොතරම දිඟු වුවත් ඔහු හා මා එකිනෙක දුටු වාර ගණන මෙන්ම වචනයක් හෝ කතා කළ වාර ගණනද ගණන් කළ හැකිය. ඒ සෑම මොහොතකම ඔහුගේ දෑස් තුලින් දකිනා අනුරාගී බැල්ම තව තවත් මා පතන්නේ නොලැබෙන දේ පසුපස යන මානව ධර්මතාවයට අනුකූලවද එසේත් නැතිනම් මා වශී කරවන ඔහුගේ දඟකාර උමතු දෑස නිසාද යන්න තවමත් සැක සහිතය.

(ඇගේ පාපොච්චාරණය අවසන්..ජීවිතයේ මෙවන් සිදුවීම් ඔබ කොතෙකුත් අසා දැක අත්විඳ ඇතුවාට සැකයක් නැත. මේ ඒ ඔබ දන්නා කතාවමද??)

ප.ලි- දිනේෂ්ගෙ comment එක දැක්කාමයි මතක් උනේ. කියන්නම ඕන මේක මගේ අත්දැකීමක් නෙවෙයි. මේක බලලා අපේ අයියලා මහා සභා රැස්වීමක් කැඳවලා "නංගි මොකක්ද අර ලියලා තිබුණේ" කියලා අහන එකක් නෑ කියලා විශ්වාස කරනවා. 


12 comments:

Dinesh

හ්ම්ම්ම්.. අසම්මත පෙමක සොදුරු මතක දිග හැරුමක් කිව්වොත් හරිද මංදා..
සරුංගලය කතාවට මොකද වෙන්නේ??

සංකල්ප

මට නම් මොනවද කියන්නේ කියලා හිතාගන්න බෑ.
නංගි ඇත්තටම ඒ කෙනාට ආදරේ නම් ඒක එයාට කියන්න. නමුත් ඔය ආදරේට ගෙවල් වලින් ඉඩ දෙයිද කියලා චුට්ටක් හරි හිතලා බලන්න. ඉඩ දෙනවනම් අවුලක් නෑ.

හංසි

@දිනේෂ්- ඔව්.. සොඳුරු මතකයන් තමයි. ඒත් මේක මගේ අත්දැකීමක් නෙවෙයි. මේ කතාවට සම්බන්ධ පිරිමි කෙනාව මම දන්නවා. එයාගෙ කතාව තමයි වෙනස් කරලා මම ලිව්වේ. සරුංගලය ලියන්න තරම් තාම මගේ හිතට හරි නැහැ. කරදර ගොඩක් එකපිට ආපු නිසා කතාව ලියන්න තරමට හිත එකඟ නෑ.

හංසි

@මධුරංග- දිනේෂ් අයියාගෙ comment එක දැකපු ගමන්ම මම මේ අත්දැකීම මගේ නෙවෙයි කියලා post එකේම දැම්මා. ස්තූතියි අදහස් දැක්වුවාට. මුල්ම අදහස් 2 දකිත්දි ලියපු දේ සාර්ථකයි කියලා හිතෙනවා. මේ දෙන්නාගෙ අද කතාව මොකක්ද කියලා මම හරියටම දන්නෙ නෑ. දැනට අවුරුදු ගාණකට කලින් කතාවක් මේක. මම දන්නා තරමින් ලියලා තියෙන්නෙ වෙනස්කම් කිහිපයක් එක්ක. මේ කතාවෙ ඔහුගේ පාපොච්චාරණය කියලා කොටසකුත් ලියවෙයි.

Anonymous

සැලකිය යුතුයි

ලේ නෑයන් අතර විවාහ සම්බන්ධතා භයානක ප්‍රවේනික රෝග රාශියක් සෑදීමට ඇති සමභාවිතාව ඉතා ඉහල අගයක. ඒ ගැනත් හිතන්න. අනික ජාන කිටුව පුළුල් නැති නිසා නිරෝගිමත් බුද්ධිමත් දරුවන් බිහිවීම ඉතාම පහල මට්ටමක පවතී. ් සෑදීමට ඇති සමභාවිතාව ඉතා ඉහල අගයක. ඒ ගැනත් හිතන්න. අනික ජාන කිටුව පුළුල් නැති නිසා නිරෝගිමත් බුද්ධිමත් දරුවන් බිහිවීම ඉතාම පහල මට්ටමක පවතී.

සංකල්ප

@හංසි :
ඔය පලිය මම දැක්කේ නැද්ද කොහෙද? ඒක නිසා තමයි එහෙම දෙයක් කමෙන්ට් කළේ.

පන්සල් හංදිය

එක අතකින් සුන්දරයි, එක අතිකින් භයානකයි .......

හංසි

@anonymous- ඒක නම් ඇත්ත ඇනෝ. ඒත් ආදරය කරත්දි කිසිම දෙයක් ගැන හිතලා නෙවෙයි නේ ගොඩක් අය ආදරය කරන්නෙ. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට.

හංසි

@මධුරංග- ඔව්.. පලිය දකින්න විදිහක් නෑ පලිය දාත්දියි comment එක ඇවිත් තිබුනෙ.

හංසි

@පන්සල් හංදිය- ගොඩක් වෙලාවට සුන්දර දේවල් එක්ක භයානක බවත් එනවා. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවාට.

කිඩෝ

හෆ්‍ෆා මේකටනං නිකං ඉදලා බෑ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරලා පරික්ෂනයක් කරන්න ඕනේ...

හංසි

@කිඩෝ- හෆොයි මේ මොකක්ද කරන්න යන්නෙ?? මාත් ඔය කමිටුවට ගන්නවද?

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..