ඔයා අපේ හිත් වලට සතුට අරගෙන ආවා. අපේ මූණවල් හිනාවෙන් පිරෙවුවා. පුංචි පුලුන් බෝලයක් වගේ ඔයාව මම අත්දෙකෙන් අරන් ඉඹින්නෙ මට ඔයාව කොච්චර වටිනවද කියන්න වචන නැති නිසා.. ඔයා ඇඳ උඩ නිදාගෙන ඉත්දි ඔයා ලඟටම ඔලුව තියාගෙන මම ඉන්නෙ ඔයාට තියන ආදරේ වචන වලින් කියන්න බැරි නිසා.. ඔයා මගේ ළඟට ඇවිත් තාමත් මාස 2ක් ඇති. ඒත් මුලු ජීවිතේම මාත් එක්ක හිටපු කෙනෙක් මාව දාලා ගියා වගෙයි.. ඒ නිසාමයි මම තාමත් උණුසුම නොගිය ඔයාව ඉඹලා ඇඬුවෙ. කවදාවත් නැතුව අද ඔයා තනියම මගේ ඇඳට නැගලා තිබුණා. ඒ වෙලාවෙ ගොඩක් ආදරෙන් ඔයා මගේ උකුළට අරන් තියාගෙන හිටියෙ. ඔයා මගේ කාමරෙන් එළියට යන්නෙ මාත් එක්කමයි. අද දවල් මතකද ඔය පුංචි කන් අතරෙ කහපාට මල් ගහලා හැඩ බැලුවා. මට නිකමටවත් හිතුණෙ නෑ ඔයා මෙහෙම යාවි කියලා. ඔයාගෙ සද්දෙට මම මෙතන ඉඳන් කෑ ගහගෙන දිව්වට කාමරේ දොර අල්ලන් මම නැවතුණා.. කියන්න වචන නෑ සුදු මැණිකෙ. ඔයා මට තිබුණ එකම සිහිවටනය. මට ලැබුණ වටිනාම තෑග්ග. හරියටම ඔයාව ඇස් දෙකක් වගේම පරෙස්සම් කරා පැටියො.. කටින් කියලා පොරොන්දු නොවුණාට හිතින් හැමදාමත් ඒ පොරොන්දුව රැක්කා..
ඒත් ඔයාව එක්කන් යන්න ඇවිත් මගේ ඇස් දෙක මොහොතකට අන්ධ කරලා දාලා මගේ පැටියාව අරන් ගියා.. හුස්ම ගියපු පුළුන් ගොඩක් මට ඉතුරු කරලා ඔයාව අරන් ගියා. ඔයා කැමැත්තෙන්ද යන්නෙ?? ඔයාගෙ පුංචි ඇස් දෙක ඇරිලා. මට පේන්නෙම මං දිහා බලනවා වගේ. ඔයාගෙ පුංචි අතක් අල්ලන් මම ඇඬුවා. මගේ පැටියා නැතුව කාමරේම පාලුවෙයි. නිල්පාට වට්ටියෙන් ඔයාව වහලා නිදාගන්න ආවාම බිම පහුරු ගානවා ඇහෙන්නෙ නැති වෙයි අද.. සමහර දවසට ඔයා බිම පහුරු ගාත්දි මම ආයිත් ඇඳෙන් නැගිටලා ඇවිත් ඔයාව වඩාගෙන ඉඳලා තියනවා. කොහෙ හරි යත්දි මගේ සුදු මැණිකෙව හොඳට බලාගන්න කියලා යන්න ඔයා නැති වෙයි.. මට ඉන්නෙ ඔයා විතරනෙ කියලා ඉඹින්න.. උම්මා එකක් ඉල්ලගන්න මගේ පැටියා නැති වෙයි. ඔයා ගැන මතකය හැම තැනම පිරිලා... කියන්න දාහක් දේවල් තියනවා. හැමෝගෙම හිත දිනාගෙන හැමෝම සතුටු කරපු මගේ පණ. ඔයා මට ලැබුණු දවසෙ ඉඳන් මම ඔයාට ආදරේ කරේ මගේ පණ වගේ. ඔයාගෙ ජීවිතේ වෙනුවට මගේ ජීවිත කාලෙ අඩුවුණා නම් මම කැමතියි.. ඒ පුලුවන් තරම් කල් ඔයා මාත් එක්කම තියාගන්න ඕන නිසා. ඒ තරමට ඔයාව මට වටින නිසා.. කමක් නෑ ඔයා යන්න. මගේ වටිනාම තෑග්ග අරන් ඔයා යන්න. ආයිත් කිසිම දවසක ඔයා එන්නෙ නෑ.. හැමදේකම අන්තිම හුස්ම ඔයා අරන් ගියා. හැමදේකම අන්තිම හුස්ම ඉතුරු වෙලා තිබුණෙ ඔයා ගාව. ඒ හුස්මත් අරන් ඔයා ගිහින්. මට ඉන්නෙ ඔයා විතරයි කියලා හැමදාම කිව්වාට දැන් මම කියන්නෙ මට හිටියෙ ඔයා විතරයි කියලා....

15 comments:
අනේ......................:'((((((((((((((((((((
අනේ....මොකක් වෙලාද මෙයාට මෙහෙම වුනේ...??? :((((
පවු. ඔයාලගේ ශෝක් හා පැටියා. මොකද නංගි මෙයාට උනේ ?
:(
මොකද මේ එකපාරම උනේ.. මටත් ඇත්තටම දුකයි.
මොකෝ හාවට උනේ,, අපේ එකා හොදින්ද කියල මම ටක ගාල බලල එන්නම්..
අහ්හ් මිනිහ හොදින්...
ජය..
කතාව දැනගෙන හිටියට පෝස්ට් එක කියෙව්වෙ අදනෙ...
ගොඩක් දුක හිතෙනව කියවනකොට....
මොනවා කරන්නද ඒත් "ලං වීමත් එක්කම වෙන් වීම" ලෝ දහම වෙනස් කරන්න බැහැනෙ අපිට...
අනේ අක්කෙ..ඔයා වගේම ඔයාගෙ සුදු මැණිකෙට හංස පිහාටුව අත ගාන අපිත් ආදරෙයි..ලබන ආත්මෙ එයා මනුස්සයෙක් වෙලා උපදීවි..
ඔය වේදනාව ජීවිතේ දෙපාරක් මම වින්දා. පලවෙනිපාර මමයි හැදුවේ. දෙවෙනිපාර මගේ දුව. එයාගේ ඉල්ලීම හින්දා මම මල සිරුරත් අරන් වයිද්යවරයෙක් ලඟට ගියා. මේ අහිංසකයින්ගේ ජීවිත හරි කෙටියි.. හරිම අවදානම්. ඔරොත්තු දීමේ ශක්තිය අඩුයි.. මොනවා කරන්නද ? අපි හැමෝම මේ ලෝකේ දාල යන්න එපා
හ්ම්ම්ම්...දුකයි...මම මෙයාව බලන්න එන්නනේ හිටියේ....
@මකුළු පැංචි- අනේ පවු මංචි... එයා නැති උන ගමන් මාව ගැහෙන්න ගත්තා. මට ඒක අදහන්න බැරි උනා..
@නිසූපා- අපේ ගෙදර බලු පැංචි ගේ ඇතුලට හොරෙන්ම ඇවිත් මෙයාව අල්ලලා.. අපි ඉක්මනටම මෙයාව ගත්තා.. තුවාල උනේ නෑ.. බයටම මැරෙන්න ඇති.
@ChammA - මෙයා වෙනුවෙන් ඔයාලා දුක් වෙන එකත් හිතට හයියක් මල්ලියො.
@මධුරංග- අපේ තාත්තා රෑ දොර ඇරලා අයියේ. අපේ බලු පැංචි ගෙට ඇවිත් ඇල්ලුවා.
@තනි අලියා- හා පැංචි ගැන අලි පැන්චෙකුත් දුක් වෙනවා මදෑ..
@Dinesh - මම ඔන්න උඩින් කියලා ඇති උන දේ.. තාමත් මතක් වෙද්දි හුස්ම හිර වෙනවා වගේ. අදහා ගන්නවත් බෑ අයියේ..
@Gayan Rupasinghe - ඔහොම කියන්නවත් එපා.. කිසිම දුකක් කරදරයක් නැතුව ඔයාගෙ හා පැංචා දීර්ඝායුෂ ලබන්න ඕන..
@කුබුවි- ම්ම්ම්.. ඔව් අයියේ.. මොනවා කරන්නද? එයා ආයිත් එන්නෙ නෑ.. එයාගෙ චූටි අතක් අල්ලගෙන ඇස් දිහා බලාගෙන එයාට පණ තියෙනවා කියලා හිතලා මම කොච්චර නම් කතා කරාද..
@Warsha - මාත් ප්‍රාර්ථනා කරන්නෙ ඒකමයි නංගියො.. ඔයාගෙ බ්ලොග් එක මොකක්ද??? වැස්ස ඔයා නේද??
@සරත් ලංකාප්‍රිය- හ්ම්ම්ම්... මොනවා කරන්නද.. එයාලගෙ පණ හයිය නෑ කියන්නෙ ඇත්ත වෙන්න ඇති.. ඒත් මගේ කලින් හා පැංචි අපේ බලු පැංචිගෙ කටින් දෙපාරක් අරගෙනත් දෙපාරෙම ජීවිතේ බේරාගන්න පුළුවන් උනා.
@දඩබ්බරී- හ්ම්ම්ම්... ඔයාට එයාව බලන්න බැරි උනානේ.. ඒත් මම ආයිත් හා පැටියෙක් ගේනවා. ටිකක් දුක අඩු උනාම. එතකොට එයාව බලන්න පුලුවන්.
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්..
Post a Comment
හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..