Buscar

සදාදර සිහිවටනය නොමී....

 මේ නොමී පුංචි කාලෙ. මාර්තු 19 ගත්ත ෆෝටෝ 1ක්..

දවසක් මම කැම්පස් ඉඳන් ඇවිත් ගෙදරට කතා කරත්දි අම්මා මට අලුත් ආරංචියක් කිව්වා. ඒ අපේ ගෙදරට පූස් පැටියෙක් ගෙනාවා කියලා. මම පුංචිම කාලෙ හිටපු පූසන්ගෙන් පස්සෙ අපේ ගෙදර පූසො ඉඳලාම නෑ.. මම ගෙදර ගියේ එයාව බලන්න ගොඩක් ආසාවෙන්. මාව දැක්ක ගමන්ම වලිගෙත් පුම්බගෙන ගෙට ගිහින් හැංගුණාට මම ආයිත් කොළඹ එන දවස වෙත්දි එයා මාත් එක්ක හොඳටම යාලුයි. මම එයාට දාපු නම තමයි නොමී.. මගේ ලැප් එකට හේත්තු වෙලා නිදාගෙන ඉන්න එයා ගොඩක් ආසයි. ඉස්සර මම චැට් කරත්දි එයා කී බෝඩ් එක උඩින් ඇවිදන් ගිහින් enter කරලාමයි යන්නෙ. එතකොට මම " ඒ අපේ නොමී" කියලා කිව්වෙ ගොඩාක් ආඩම්බරෙන්. ලැප් එක ලඟ නොමී ඉන්න ආස නිසාම අපේ නංගි මම එත්දි නොමීට කියන්නෙ ලැප් ටොප් කුමාරි එනවා කියලා.


අපේ සිඟිති (කලින් හා පැටියා) එක්ක එයා සෙල්ලම් කරා. දැන් ඉන්න සුදු මැණිකෙත් එක්ක එකට බත් කත්දි අපි ආසාවෙන් බලන් හිටියා. එයා හැමදාම ඉන්නෙ ගේ ඇතුලෙ. ඕනම දේකට ඇරෙන්න එයා ගෙදරින් එළියට යන්නෙ නෑ.. අපේ චූටි, ජිමී එක්කත් (අපේ බලු සේනාව.) එයා යාලුයි. ජිමී එක්ක ගේ  වටේ දුව දුව සෙල්ලම් කරන හැටි මම ආසාවෙන් බලන් හිටියා. එයාලාගෙ වැඩේම නොමීගෙ ඇඟේ කෙළ ගාන එක. මම ගෙදර ගිය දවසට නොමී නිදාගන්න එන්නෙ මගේ ලඟට. මගේ අතට ඔලුව තියාගෙන පුංචි බබෙක් වගේ එයා නිදාගන්නවා. කිරි අම්මා නැති උනාට පස්සෙ මම හැමදාම වගේ නිවාඩු දවස් වලට ගමේ ගියා. ඒ නිසාම ගොඩක් දවසකින් ගෙදර යන්න බැරි උනා. මාස දෙකහමාරකට විතර පස්සෙ ගෙදර යත්දි අම්මා මට වෙනමම කාමරයක් ලෑස්ති කරලා තිබුනා. එතකොට නංගි කිව්වෙ නොමී දැන් මගේ ලඟට එන එකක් නෑ මෙච්චර දවසක් නිදාගත්තෙ නංගි ලඟ කියලා. ඒත් එදා රෑ වෙත්දි මාව හොයාගෙන මගේ කාමරේට ඇවිත් මගේ ඇඳ උඩ එයා නිදාගෙන. එදා මට එයා ගැන ගොඩාක් දුක හිතුණා.


එදා දවල් වෙත්දි අත්තා නැති වෙලා නිසා ආපහු අපි ගමේ ගියා. ඒ වැඩත් ඉවර වෙලා ආපහු මම ගෙදර ආවාම මගේ කාමරේ තීන්ත ගාන්න ඕන නිසා මට ආපහු නංගි එක්ක නිදාගන්න යන්න උනා. ඒ හැමදවසකම නොමී ඇවිත් නංගිගෙයි මගෙයි මැදින් ඇඳේ නිදාගන්නවා. එයා හැදුනෙ අපේ ගෙදරම කෙනෙක් වගේ.. අපි දෙන්නාට කිරි හදන්නත් කලින් සමහර දවසට අම්මා නොමීට කිරි හදලා දෙනවා. හැබැයි ඒ කිරි එකෙන් බාගයක් බීලා මගේ කිරි එකෙන් ඉතුරු කරලා එයාගෙ පුංචි පිඟානට දැම්මාට පස්සෙයි ඉතුරු ටික බොන්නෙ. එයා හැමදාමත් 10 පහුවෙනකම් නිදාගන්නවා. (කම්මැලියෙක්.) මගේ ඇඟට හේත්තු වෙලා නිදාගෙන ඉත්දි මම හොරෙන්ම නැගිටලා එයාට පොරවලා ඇඳෙන් බැහැලා යනවා. අපි අතරෙ තිබුනෙ ඒ වගේ බැඳීමක්. හරියට දරුවෙක්ට, සහෝදරයෙක්ට සලකනවා වගේ වෙන්න ඇති.


ඒත් මේ සතියෙ සඳුදා එයාට උණ තිබුනා. කෑවෙත් නෑ. මම කොළඹ එත්දි අම්මාට කියලා ආවෙ බෙහෙත් අර දෙන්න කියලා. ඩොක්ටර් එයාට ඉන්ජක්ෂන් 3ක් විදලා තිබුණා.. පව්.. ආයිත් බදාදා මම ගෙදර යත්දි එයාට ගොඩක් අමාරුයි.දවලුත් වමනෙ ගිහින්. හවසත් වමනෙ ගිහින් තිබුණා. නංගි පොවාපු ග්ලූකෝස් වතුට ටිකයි බෙහෙතුයි ඔක්කොම එක්ක කලු පාටට වමනෙ කරාලු. ඊළඟ දවසෙ මම ක්ලාස් ගියා. එයා උදෙත් වමනෙ දාපු නිසා වෙන ඩොක්ටර් කෙනෙක් ලඟට එක්කන් ගිහින් තිබුණා. උණ බලලා සේලයින් දීලා ඉන්ජක්ෂන් 3ක් විද්දාලු එයාත්. ඒත් කලින් ඩොක්ටර්ට වඩා ගොඩක් ආදරෙන් නොමීගෙ ලෙඩ බැලුවා කියලායි නංගි කිව්වෙ. එදා හවස මම ආපහු කොළඹ ආවා. එන්න හදනකොට එයා ගෙයින් එළියෙ නිදි. කවදාවත් ගෙයින් පිට නිදාගන්නෙ නැති නොමී ඇයි අද එළියෙ කියලා අහලා මම එයාව වඩාගෙන ගෙට ගෙනාවා. වඩා ගනිත්දි එයා ගොඩක් අමාරුවෙන් කෙඳිරි ගෑවා. 


ගෙයින් එළියට බැහැලාත් එයාව දාලා එන්න බැරුව මම නැවතිලා එයාගෙ ඔලුව අතගගා හිටියා. අම්මාගෙ ෆෝන් එකෙන් ෆෝටෝ එකකුත් අරන් තියලායි මම ආවෙ. ඇවිල්ලාත් මම නොමී ගැන අහුවා. ඒත් අද උදේ අම්මාගෙන් අහත්දි නොමී ඊයෙ රෑ 1.10ට නැති උනාලු. කලුපාටට වමනෙ දාලා ඉවරවෙත්දිම හුස්ම ගියා කිව්වා. අඬාගන්න කඳුලු නැති උනාට මගේ පපුවෙ මොකක්දෝ හිර වෙලා වගේ දැනුණා. මුළු ඇඟම වෙවුලනවා වගේ දැනුණා. ආයිත් මගේ ගාව නිදාගෙන ඉන්න, කිරි කෝප්පෙ අතට ගනිත්දි කකුලෙ දැවටෙන්න, මගේ සුදු මැණිකෙ එක්ක සෙල්ලම් කරන්න, ජිමී එක්ක ගේ වටේ දුවන්න නොමී එන්නෙ නෑ.. උඩට ගත්ත හුස්ම පහළ දාන්න බැරි තරම් හිත බරයි. කඳුලු එන්නෙ නැති තරමට කඳුළු හිඳුන මගේ ඇස් දෙක ඉස්සරහා අද මම අසරණ වෙලා. මට ඕනෙ අඬන්න. මගේ නොමී ගැන කිය කියා අඬන්න. ඒත් ඒකට ඉඩක් නෑ. මගේ හිතේ හිර උන මතකයත් අරන් මම හැමදාම ඔයාව මතක් කරාවි. ඔයා හොඳ ආත්මයක් ලබන්න. ගොඩක් සතුටින් ජීවත් වෙන්න. පුලුවන්නම් ඊළඟ ආත්මෙකදිත් මගේ ලඟටම එන්න. ඔයා දන්නෙ නැති උනාට නොමී, මේ ඉන්ටනෙට් එක පුරාවට මම මෙච්චර දවසක් ඇවිද්දෙ මගේ නොමීගෙ නමත් එක්ක.. ඔයා නම් ඒක දැනන් ඉන්න නැතුව ඇති.

හැම ආත්මෙකදිම නොමී අපි අතරේම ඉපදේවා..!!
 
මේ නොමී සිඟිතිත් එක්ක.. 

ප.ලි- නොමීට ඉක්මනට සනීප වෙන්න කියලා ඊයෙ පෝස්ට් එකක් දාන්න හැදුවෙ. ඒත් මට බය හිතුණා එයා ගැන කිව්වාම එයා ඉක්මනට මැරේවි කියලා.

11 comments:

තනි අලියා

කණගාටුයි! :(
කොහොමයත් ඔය පූසා නැති වෙනඑක ඔයාට දකින්නම වෙනවනෙ! :(
මගෙ යාලුවෙක්ගෙත් බල්ල ලඟදි අසනීපවෙලා මැරුණ! :(
අපේ ගෙදරත් පූසො ගොඩාක් ඉන්නව,

Dinesh

දුක් වෙන්න එපා හංසී..

ගිනි කුරුල්ලා

මම නම් පුසොන්ට ඔච්චරම ආස නෑ.ඒත් ඔය වගේ සත්තුන්ට ගොඩක් ආදරේ කරන අයට ඔහොම දෙයක් උනාම මාර දුකයි කියල දන්නවා.අපේ සීයා ලග ඉදපු බලල අපි හැමෝම බලන ඉද්දි දවසක් පාරේ ගියපු ලොරියකට යට වෙලා මැරුණා..ඒ වෙලාවේ නම් පුදුම දුකක්...සත්තු උනත් අපි ලග ඉන්නකොට, අපි ආදරෙන් සලකනකොට එයාලත් අපිට ගොඩක් ආදරෙයි...
අක්කද නංගි ද දන්නේ නෑ ඔයා...කවුරු උනත් කමක් නෑ බ්ලොග් ඒකට සුභ පැතුම්..අදයි පළමු වතාවට මේ පැත්තේ ආවේ.:)

හංසි

@තනි අලියා- හ්ම්ම්ම්... ඒත් දකින්න නොලැබුන එකයි ගොඩක්ම දුක. අන්තිම මොහොතෙ ලඟ ඉන්න තිබුනා නම් කියලා හිතෙනවා. අලි ගෙදර පැත්තෙ කාලෙකින් ආවෙ නෑ..

@දිනේෂ්- දුක් වෙලා වැඩක් නෑ තමයි අයියේ. ඒ උනාට එකපාරටම මතක් වෙත්දි දැනෙන්නෙ මට එයා ලඟට යන්න නොදී කකුල් අත් බැඳලා ඉන්නවා වගේ හැඟීමක්. මට එයාව ආයිත් දකින්න ඕනෙ. ඒත් බෑනෙ.

@ගිනි කුරුල්ලා- ඔයාලා පූසොන්ට ආස නෑනෙ කොහොමත්. අහු උනානම් ඔයාවත් අල්ලන් කාවි. ලඟින්ම ඉඳලා එකපාරටම වෙන් වෙලා ගියාම දැනෙන්නෙ මොන වගේ දුකක්ද කියලා ආයිත් මට තේරුම් ගන්න ලැබුණා.
කොහොම උනත් බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවාට.

Dinesh

වෙන්වීම කියන දේ ඔහොම තමයි නංගී.. අපේ ගෙදරත් අපිත් එක්ක සහෝදරයෙක් වගේ අවුරුදු 15ක් හැදුන බල්ලත් ගිය අවුරුද්දේ නැති උනා... අපේ අම්මයි අක්කයි ෆෝන් එකෙන් අඩද්දි මගේ ඇස් දෙකටත් කදුළු ආවා...

ChammA

ඔහොම තමයි හංසි , අපේ ගෙදර හදපු ලේන් පැටියා නැති උන දවසේ මාත් නොසෑහෙන්න ඇඩුවා..
ගොඩක් ළගින් ඉන්න අය දාලා ගියාම ගොඩක් දුකයි..

Gayan Rupasinghe

දුකයි තමයි... මගේ ගාවත් හාවෝ දෙන්නෙක් හිටිය,, දැන් ඉන්නේ එකයි... අනික් කෙනාව කව්රු හරි හොරෙන් අරන් ගිහින්,,, දුක් වෙන්න එපා.. අපි එයාට තිරිසන් ආත්මයක නැතිව වෙන හොද ආත්මයක ඉපදෙන්න කියල ප්‍රාර්ථනා කරමු....

ජය..

වර්ෂා..

පූසො අපේ ජීවිතවලට හුගක් සමීපයි නේද..මටත් ඉන්නවා ලස්සන පැංචෙක්.එයා නැති වුණ දවසක මටත් කියා ගන්න බැරි තරම් වේදනාවක් දැනේවි.

හංසි

@දිනේෂ්- මම ඉන්න කාලෙක නම් අපේ ගෙදර සතෙක් ගොඩක් කල් ජීවත් වෙලා නෑ.. එයාලා ගොඩක් ඉක්මනට මේ ලෝකෙ අත ඇරලා යනවා. එක දවසක් හිටියත් අවුරුදු ගානක් හිටියත් බැඳීමෙ ප්‍රමාණයටයි දුක දැනෙන්නෙ. හැබැයි ගොඩක් කල් හිටපු සතෙක් මැරුණාම එයා ගැන මතක් කරන්න දේවල් වැඩි නිසා සැරෙන් සැරේ මතක් වෙනවා වැඩි ඇති

@ChammA- ඒක නම් ඇත්ත. අපේ ගෙදර මාසයක් විතර මම බෙහෙත් කරලා හදපු දඬු ලේන් පැටියෙක් චූටි ඇල්ලුවාම මම මුළු දවසක් එයාව වළදාන්නෙ නැතුව තියාගෙන කියව කියව ඇඬුවා. එයාට බෙහෙත් ගේන්න එක්කන් ගියපු අපේ අයියා කෙනෙකුත් දවස් ගානකට පස්සෙත් එයාව මතක් කරලා ඇඬුවා.

@Gayan Rupasinghe- ගොඩක් ස්තූතියි ගයාන්. අපිට එච්චර තමයි කරන්න පුලුවන්. ඔයාගෙ හාව අරන් ඝින් තියෙන්නෙ හදාගන්න නම් කමක් නෑ. ඒත් සමහර මිනිස්සු උන්ව මරනවා නේ. අනිත් පැටියා ගොඩක් පරෙස්සම් කරගන්න. මටත් හා පැටියෙක් ඉන්නවා.

හංසි

@වර්ෂා- හ්ම්ම්... එයාලා ඉක්මනටම අපිට ලං වෙනවා. ඔයාගෙ පූස් පැටියාට දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ. ලෙඩක් හැදුනොත් ඉක්මනටම බෙහෙත් අරන් දෙන්න. ඒ වගේම ඩොක්ටර් කෙනෙක් ලඟට අරන් යත්දි සත්තුන්ට ආදරේ කරන කෙනෙක් හොයන්න. මොකද සතෙකුට එයාගෙ අසනීප ගැන කියන්න බැනේ.. සත්තුන්ට වගකීමක් නැතුව බෙහෙත් කරන අය ඉන්නවා. කවදාවත් පැනඩෝල් දෙන්නත් එපා.

මධුරංග

දුක් වෙන්න එපා නංගි.
අපේ පූසගේ නම් 'ඉදා' ඒකා මලා. අපේ මල්ලි ඇඬුවත් එක්ක. පවු

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..