Buscar

දිනක එමි මා නුඹව සොයාලා...




දුර අහසෙ දඟ කරන
හඳ හාමි ගෙනැත් දුන්
තරු අතරෙ සිනාසෙන තරු දෙනෙත
නුඹෙ තමයි...
ගී කියන සියොතුනේ
සමනළුනි කිව මැනේ
ඒ දෙනෙත කොතනකද
සැනසෙන්නෙ කියාලා...
මගෙ දෑතෙ රැදෙන්නට 
වරම් නැතිමුත් නුඹට
මගෙ සෙනෙහෙ ඇත හදෙහි පිරීලා...
නොහඬන්න මගෙ මැණික
සිහින දැක නිදියන්න
දිනක එමි මා නුඹව සොයාලා...

අපි තවමත් මේ දුර ඇයි මගේ සිතැත්තී...



දයාබරව නුඹේ හදට
ළං වීලා ලඟින් ඉන්න
නුඹෙ හදවත මට දෙනවද
සොඳුරු සිතැත්තී...

අමාවකේ පායන තරු
මුලු අහසට එලිය දේවි
ඒ තරු ඇස් නුඹේ නොවෙද
සොඳුරු රුවැත්තී...

සිතිජය ලඟ මුලු අහසම
සයුර වැළදගෙන තියෙද්දි
අපි තවමත් මේ දුර ඇයි
මගේ සිතැත්තී...


(ගොඩක් දවසකින් අලුතින් මොනවත් ලියන්න බැරි උන නිසා, මේ පැත්තෙ එන්නත් බැරි උන නිසා, කලින් fb එකේ දාපු කවියක් බ්ලොග් එකටත් දැම්මා.)

පැතුම...




හීන ගොඩකට පෙම් බඳින්න හිතාගෙන
ආකාසෙ පුංචි තරුවක් දිහාවට හැරිලා
හුළඟට පා කරපු මගේ පැතුමත්
නිමක් නැති ආකාසෙ
අනන්තයක් තරු අතරට එක් වෙලා... 

ඉස්කෝලෙ කාලෙ කතා- චන්ඩිකම්



ඔන්න අද කියන්න යන්නෙ මම ඉස්කෝලෙ යන කාලෙ කරපු චන්ඩිකමක් ගැන. මම මිශ්‍ර පාසලකට ගියපු කාලෙදි තමයි මේක උනේ. ඉස්කෝලෙ මොකක්ද කියලා දන්නෝ දනිති. අපේ ඉස්කෝලවල ගුරුවරු ටියුෂන් ගුරුවරු එක්ක තියෙන්නෙ පුදුමාකාර තරහක් නේ. ඒ තරහා ළමයින්ගෙ පිටිනුත් යවන අය ඉන්නවා. මම ගියෙත් ඉස්කෝලෙ සර් ටිකක් අකමැති ගුරුවරයෙකුගෙ පන්තියකට. ගණිතය විෂය තමයි මේ ගුරුතුමා උගන්වන්නෙ. (හැබැයි මාත් අපේ ඉස්කෝලෙ සර්ට වරදින තැනක් බලන් ඉන්නෙ.) සර් මාත් එක්කත් ටිකක් විතර තරහයි. ටිකක් කියන්නෙ ඉතින් අපේ ගුරුතුමාගෙ ලිස්ට් එකේ මුලින්ම හිටියෙ මම. 



මගේ පන්තියෙ කොල්ලොත් මාත් එක්ක පොඩි තරහක් තිබුනා. මොකද ගුරුවරියකගේ නෑදෑ වෙන පුතෙක් ඉන්නවා අපේ පන්තියෙ.  මගේ මවු පාර්ශවයේ සම්පූර්ණ බලය මට තිබුණා එහෙදි. ඒ ගැන ඒ පිරිමි ළමයාගෙ හිතේ තිබුණ පොඩි ඉරිසියාවක් වගේ දෙයක් කොල්ලො ඔක්කොටම බලපාලා තිබුණා. ඕක තමයි අපේ තරහා. හැමදාමත් පන්තියෙ පළවෙනියා උනෙත් මම. ඒකත් සමහර අයට දිරවන්නෙ නෑනේ. ඔහොම ඉත්දි අපේ ගණන් සර් දවසක් පාඩමක් කරනවා. ඒකෙ දශම සංඛ්‍යා කියවනවා සර්. උදාහරණයක් විදිහට 0.67 සර් කියවන්නෙ බින්දුවයි දශම හැට හත කියලා. මාත් කොයි වෙලාවෙ වරදියිද කියලානේ බලන් ඉන්නෙ. මම කිව්වා නෑ සර් ඕක කියවන්නෙ ඔහොම නෙවෙයි බින්දුවයි දශම හයයි හත කියලා. කොහොම හරි ඔය කතාව දුර ගිහින් සර් මට ගහන්න කෝටුවකුත් කඩන් එන්න කියලා කොල්ලෙක්ව යැවුවා. :( ඒ ගොල්ලොත් බලන් හිටියේ මට හිනාවෙන්නනේ. දැන් කෝටුවත් ගෙනැත් ගහන්න තමයි ලෑස්තිය. මට කිව්වා අත දික් කරන්න කියලා. ඒවා කොහෙද ගුටි කන්න මම වැරදි දෙයක් කිව්වෙ නෑනේ. මම බෑ කිව්වා. බෑ කියලාත් නිකම් හිටියෙ නෑ. මම වැරදි දෙයක් කිව්වෙ නෑ කියලත් කිව්වා. කෙටි බිත්ති දෙපැත්තෙන් තියන පන්තියක් නිසා අනිත් පන්ති වලටත් පේනවා. සර් ගහන්නෙ නැතුව යන්න ලෑස්තිත් නෑ. මගේ අතින් අල්ලන් ගහන්නයි හැදුවෙ. 


හෆොයි මොන ලැජ්ජාවක්ද නොකරපු වැරැද්ද්කට කවදාවත් නැතුව ගුටි කන්න. ඊටත් මවු පාර්ශවයේ බලය තියෙද්දිත්. මටත් තරහයි හොඳටම. මම කරේ සර්ගෙ අතේ තිබුණ කෝටුව උදුරලා අරන් කඩලා විසි කරා. වැඩේ එච්චරම හොඳ නෑ තමයි. හැබැයි ඉතින් කෙල්ලෙක් චණ්ඩිකමක් කරපු මුල්ම අවස්ථාව. අන්තිමේ ඉතින් පන්ති භාර මිස්ටත් එන්න කියලා සර්ගෙ පාඩමේ ඉතුරු ටිකේ ලැබ් එකට වෙලා නම් ඉන්න උනා. (පන්ති භාර මිස් විද්‍යා ගුරුතුමියක් උන නිසා.) ඊට එහා දඬුවමක් නම් ලැබුණෙ නෑ. අම්මාටත් කියලා තිබුනා. සර්ගෙත් වරදක් නැත්තෙම නැති නිසා සර්ටත් ටිකක් ලැජ්ජයි කියලා පස්සෙදි හිතුනා. 


හැබැයි ඉතින් ඊට පස්සෙ නම් හොඳටද නරකටද මන්දා වරදක් නැතුව ළමයින්ට දඬුවම් කරන්න හදත්දි කිසිම ළමයෙක් නිහඬව දඬුවම් විඳින්න නම් ලෑස්ති උනේ නෑ. ගොඩක්ම ළමයි දඬුවම් කරන්න එපා කියලා සෘජුවම කියපු අවස්ථා අහන්න දකින්න ලැබුණා. හැබැයි ඉතින් කරපු පණ්ඩිත වැඩේ ගැන මටත් ලැජ්ජාවක් නැත්තෙම නෑ. මොකද දන්නවද කොහොම උනත් එච්චර කාලයක් ශාන්ත දාන්ත තීන්ත කූඩුවක් වගේ හිටපු මම එක පාරටම හැපින්නක් උනානේ. 

කතරක් නොවේ නුඹ මට..



තුරු ලතා මල් පිරුණු වන දහන නුඹම වේ
පෙර කළක මට සිසිල සුව සැදූ
පැමිණි  ගිනි නුඹ දවා 
ඉඩෝරෙට හසු වෙලා
දැවෙයි අද නුඹම කතරක් වෙලා
පැමිණ සැරිසැරුවෙමි යලිත්
කතරකැයි පැවසු මුත්
නෙක දනන්
දනිමි මා නුඹම බැව් වන දහන
මවා වැලි කුණාටුව
නොපෙළන්න නුඹ මාව
පැමිණියේ මා ඉතින්
තුරු ලතා මල් යලිත් තනන්නට..


මේක නම් කවියක් විතරක්ම නෙවෙයි. මගේම අත්දැකීමක්. යම් යම් හේතු නිසා විස්තර සහිතව කියන්න බැරි උනත් පැහැදිලි වෙන්නත් එක්ක කෙටියෙන් කියන්නම්. 

ගොඩක් කාලෙකට පස්සෙ මට කෙනෙක් එක්ක කතා කරන්න ලැබුණා. ඒ වෙලාවෙ එයාගෙ ජීවිතේ එක දෙයක් ගැන මට කිව්වා. කලින් මම දැනගෙන හිටියත් එයාගෙම වචන වලින් අහත්දි එච්චර දැඩි හිතක් මේ තරම් දුක් විඳින්නෙ ඇයි කියලා හිතාගන්න බැරි උනා. මාත් එයාගෙ ජීවිතය වරද්ද ගන්න එක හේතුවක් උනා කියලා දැන දැනත් හිතේ තියන් ඉන්න බැරි නිසාම ඒ ගැන මතක් කරලා සමාව ඉල්ලුවා. කොහොම උනත් අන්තිමේදි එයත් මාත් එක ප්‍රශ්නයක් එක්ක හිර උනා. ( ජීවිතයේ ලොකුම පැරදීමක් අද හෝ කවදාහරි. වෙනස් වෙන්නෙ දවස විතරයි. ) වෙලාවකට මට දැනෙන්නෙ හැම පැත්තෙන්ම ආපු ප්‍රශ්ණත් එක්ක උන හැමදේටම එයා මගෙන් පලිගන්න හදනවාවත්ද කියලා. ඒත් මම දන්නවා එදා මම දැකපු හදවත තාමත් එයා ලඟ තියනවා කියලා. මොකද දන්නවද එයාගෙ අතීතයේ ගොඩක් දේවල් තාමත් ආදරණීයව මතක් කරන නිසා.

එයා කවදාවත් මගේ බ්ලොග් එක දකින්නෙ නෑ. ඒකයි මෙහෙම ලිව්වෙ.  

1000ක් පිටු පෙරලුන දවස.



අද මටයි මගේ හංස පිහාටුවටයි විශේෂ දවසක්. මගේ හංස පිහාටුව පටන් ගත්තෙ මැයි 20. ඒ කියන්නෙ මගේ පිහාටුවට අද වෙත්දි වයස මාසෙකුත් දවස් දොළහක්. එක එක හේතු නිසා සමහර වෙලාවට ලියන්න අතපසු උනත් දැනට ලියපුවා 13ක් තියනවා. මේ වෙත්දි හංස පිහාටුව ඇදුම් 3ක්ම ඇන්දා. අද විශේෂ වෙන්නෙ මෙහෙමයි. බ්ලොග් එකක් පටන් ගත්තාම හැමෝම ආසයිනේ කියවන අයත් ඉන්නවා දකින්න. අද වෙත්දි මගේ බ්ලොග් එකේ පිටු දහස් වතාවක් පෙරළිලා. අලුත්ම කෙනෙක් උන මට ඒක ගොඩක්ම විශේෂයි. බ්ලොග්කරණයේ ප්‍රවීණයොත් මතක් කරලා බලන්නකො ඔයාලාගෙ මුල්ම කාලෙ. මේ හේතුව නිසාම මගේ බ්ලොග් එක හැදුන හැටි ගැන පොඩ්ඩක් කියන්න හිතුනා. අනාගතේ දවසක මට හරි මේක සිහිවටනයක් වෙයි නේ.



මට බ්ලොග් එකක් ගැන මුලින්ම අදහසක් දුන්නෙ සමීර රත්නායක කියලා මගේ මිතුරෙක්. fb එකේ දාන කවි බලලා තමයි මට එයා මේ අදහස දුන්නෙ. ඒත් එක්කම වගේ තවත් මගේ හිතවතෙක් අලුතින් බ්ලොග් එකක් පටන් ගමු කියලා මට කිව්වා. ඔන්න එයාගෙ බ්ලොග් එකේ තමයි මගේ නිර්මාණයක් මුලින්ම පළ උනේ. නම සඳහන් නොකරත් ඔයා මට පෙන්වපු මාර්ගයට ගොඩක් පින්. ඒ වගේම බොහොමත්ම ස්තූතියි. බ්ලොග් එකක් හදලා දෙන එක එයාටම බාර දීලා හිටපු නිසා මාස කිහිපයක් මේ වැඩේ අතපසු උනා. අන්තිමේදි මැයි 20 කියන දවසෙ මමම මේ වැඩේට අත ගැහුවා. හිතුව තරම් නම් අමාරු උනේ නෑ. සාර්ථකව කියලා කියන්න පුලුවන් විදිහට වැඩේ කරගත්තා.


මුළින්ම fb එකේ දාපු කවි වලින් පටන් අරගෙන දැන් නම් එක එක දේවල් ලියනවා. විශේෂයෙන්ම කියන්න ඕනෙ මම මේක ලියන්නෙ මගේ සතුටට. ඒ කියන්නෙ ආත්ම තෘප්තියක් ලබන්න කරන වැඩක්. බ්ලොග් එක මුලින්ම බැලුවෙ මගේ හොඳම යාලුවා. එයා ගැන තමයි අර පෝස්ට් එක දාලා තිබුනේ. එදාම මට හැමදාමත් අත හිත දෙන 4 දෙනෙක් මගේ බ්ලොග් එක follow කරා. ඉශාරා, වරුණ, තරණි, මහේෂ්. විශේෂත්වය ඒ හතර දෙනාම බ්ලොග් ලියන අය නොවීම. ඒ වගේම දෙන්නෙක් මම පෞද්ගලිකව ඉතාමත් හොඳින් හඳුනන අය. ඉන් පස්සෙ seeker හැමදාමත් මම ලියන දේවල් කියවලා අත හිත දුන්නා. එයාව මම හොඳට අඳුර ගත්තෙ මගේ fb photo එකකට පණ්ඩිත cmnt එකක් දැම්මාට පස්සෙ. >:( මධුරංග, දිනේෂ්, $කුබුවි$ වගේ නම් දැනටමත් කටපාඩම් වගේ. ඒ කිසිම කෙනෙක් මම පෞද්ගලිකව නොහඳුනන එක විශේෂයි. 


ඊලඟට හංස පිහාටුව දැන් ඇඳන් ඉන්න ඇඳුම හොයාගන්න ගොඩක් උදවු කරේ ජනරඟ. හැමදාමත් boot කිය කියා මට විහිළු කරාට O/L කාලෙ ඉඳන්ම එකට පන්ති වලදි හඳුනගෙන අද වෙත්දිත් හොඳම යාලුවෙක් උන ඔයාටත් විශේෂයෙන්ම ස්තූතියි කියන්න ඕන. (හැබැයි ඉතින් මගේ blog එක පැත්තෙ එන්නෙවත් නෑ කියලා දන්නවා. :p ) අද වෙත්දි මට අත හිත දෙන මගේ බ්ලොග් එක කියවන්න කැමතියි කියපු අය 33ක් ඉන්නවා. ඒ ඔක්කොටමත් ගොඩක්ම ස්තූතියි.


ආහ් තව එකක් කියන්නම ඕන. නීනු කියලා රෝස වලාකුළක් තියන කෙනෙක් ඉන්නවා නේද? එයාගෙ බ්ලොග් එක බලපු ගමන්ම තමයි මම බ්ලොග් එක හදන්න පටන් ගත්තෙ. තවත් කල් දාන්න බෑ කියලාම හිතුනා රෝස වළාකුළ දකිත්දි. එයාගෙ comment එකක් මේ වෙනතෙක් නොවැටුනත් එයාටත් ගොඩක්ම ස්තූතියි ඔන්න එයා කරපු නිහඬ සේවය වෙනුවෙන්. දුකා අයියාත් මුල් කාලෙදිම මගේ බ්ලොග් එක follow කරලා තිබුනා. කොහොම උනත් සතුටුයි ගොඩක්ම. ඔන්න මදුශාන්ලු 1000 වෙනි හිට් එක දුන්නෙ. එයා තමයි කිව්වෙ. මේ වෙත්දි වැඩිම වාර ගණනක් බලලා තියෙන්නෙ අසම්මත ප්‍රේමය 2 කියන පෝස්ට් එක තමයි. ඒක සත්‍ය සිදුවීමක් යම්තාක් දුරට වෙනස්කම් එක්ක තමයි ලියලා තියෙන්නෙ. 


දෙරණ සින්ඩියෙ නම් දැනට මම ඉන්නවා. ඒ වගේම සිතුවිලි පවුර එක්කත් ඉන්නවා. ඒ ලැබුනු අවස්ථාවත් මට ගොඩක්ම වැදගත්. මට හිතුන හැටි ඉඳන් අද වෙනකම්ම සතුට, දුක, ජය, පරාජය වගේම නින්දා, ප්‍රශංසා එක්ක මම තාමත් ලියනවා. ලාභ අලාභ වලින් නම් වැඩක් නෑ. කොහොම උනත් සිතුවිල්ලකින් හරි ධෛර්යයක් උන හැමෝටම බොහොමත්ම ස්තූතියි.


ප.ලි.- යනවානම් කියලා යන්න යාලුවා.... කිව්වෙ ඒකෙදි මම කියපු සුදු පරවියොන්ගෙන් එක්කෙනෙක් නෑ. :( ඉතින් සුදු පරවි පැටවු එයාලගෙන් මට ලැබෙන්නෙ නෑ. යාලුවා නම් කරදරයක් නැතුව ඉන්නවා කියලා තොරතුරු ලැබුනා. 
අසම්මත ප්‍රේමය කතාව ගැන තවත් සොයමින් පවතිනවා.
මඩ නාන්න ආයිමත් ගමේ යන්නත් හිතන් ඉන්නවා.
boot කවි කතාත් බොහෝ ප්‍රමාණයක් වැටෙයි. :p

ප.ප.ලි.- මගඇරුන දෙයක් තියනවා. මට දැනගන්න ලැබුනා මගේ කවියක් මාව අඳුනන්නෙ වත් නැති කෙනෙක්ගෙ wall paper එකක් විදිහට තියනවා කියලා. එයාටත් කාගෙන්ද ලැබිලාලු. සචිත් තමයි කිව්වෙ.  අහත්දිත් ගොඩක් සතුටක් දැනුනා.
ඒ වගේම දඟකාර.කොම් ලියන සඳරු අයියාටත් ස්තූතියි හැමදාමත් web site එකට මගේ නිර්මාණ ඉල්ලනවාට. (අන්තිමේදි අයියාම මගේ කවියක් දාලා තිබුනා මම පරක්කු කරන නිසා.)

මී හරක් කවද්ද සබන් ගෑවෙ??



ඔන්න අද නම් ආවෙ මම ගමේ ගියපු වෙලාවෙ අත්විඳපු රසබර සිදුවීම් ටිකකුත් අරගෙන. කිරි අම්මාගෙ හදිසි අභාවයත් එක්ක අපි යත්දිත් මුලු ගෙදරම සෙනඟ පිරිලා. ඒ දවස් ටිකේ උන සිදුවීම් ටිකක් තමයි මේ ගෙනාවෙ. දුක හිතෙන ඒවා විතරක් බලධාරියා විසින් කපා හරින ලදි. දැනට අපේ පවුලට ඉතුරු වෙලා ඉන්න ලොකුම කෙල්ල මම තමයි ඉතින්. ටිකක් විතර ආඩම්බරෙන් තමයි කියන්නෙ. දැනට කිව්වෙ ඉතින් අක්කෙක් ඉන්නවා. එයා විවාහ වෙලා නිසා දැන් මම තමයි ඉතුරු අයගෙන් ලොක්කා. කොහොමටත් අපේ පවුලටම ඉන්නෙ කෙල්ලො 6 දෙනයි. කොල්ලො නම් ඉන්නවා ගණන් කරන්නත් බැරි තරමට. ඒකෙනුත් කෙල්ලොම දෙන්නෙක් ඉන්නෙ අපේ අම්මටයි තාත්තටයි විතරයි. ඔන්න ඔහොමයි අපේ පවුල.


දැන් ඉතින් මළ ගෙදරට ගිහින් මුල්ම දවසෙ විවේකයක් එහෙම අරන් ඊලඟ දවසෙ ඉඳන්ම අපිට වැඩ. :( වැඩ කිව්වට ඉතින් තේ, බිස්කට් දෙන්න තමයි. මම තේ හදන්න දන්නෙ නැති නිසා තේ හදන්නත් කරදර වෙන්න ඕන උනේ නෑ. ඔහොම ඉන්න ගමන් රෑට හොල්මන් කතා එහෙමත් කියනවා. විහිළු කතාත් කියනවනේ. තලගොයි පැටියා මැරුණ හැටි, එකා එකා කූඹි එහා රටට සාදයකට ගිහින් එන හැටි, පාල රට ගියපු හැටි වගේ අවසානයක් නැති කතාත් කිවුවා. ඒ වගේම මැජික් ටිකකුත් ඉගන ගත්තා. ගොඩනැගිල්ලකට හොරු පනින හැටි, ගල් කැට තුන ගානෙ අත් දෙකට අරන් ඔක්කොම එක අතකට ගන්න හැටි, ඒ වගේම රජ්ජුරුවරු හතර දෙනෙක්ගෙ කතාවකුත් වගේ කාඩ් සෙට් එකෙන් කරන දේවලුත් ටිකක් ඉගෙන ගත්තා.


අපේ අම්මලාගෙ පැත්තෙ චාරිත්‍රයක් නිසා නංගිටයි මටයි නම් මරණයේ අවසන් කටයුතු සිදු කරලා ඉවර වෙනකම් නාන්න නම් ලැබුනෙ නෑ. :( මළගිය කෙනාගෙ ලඟම නෑදෑයො මරණෙ ගෙදර තියෙද්දි නාන්න හොඳ නැතිලු. හැබැයි තාත්තලාගෙ ගමේ ඉන්න අය නම් නෑවා. භූමිදාන කටයතු ඉවර කරලා ආවාට පස්සෙ ඊලඟ දවසෙ ඉඳන් ඔන්න මටත් නාන්න අවසර ලැබුනා. එතනින් තමයි අපි ගමම පෙරළන්න පටන් ගත්තෙ. 


ඔන්න අපේ අත්තලයි දිහා තියනවා ළිං දෙකක්. ඒවගෙන් වෙලේ ළිඳට තමයි අපි හැමෝම ආස. කුඹුර මැද්දෑවෙ කට ගාවටම වගේ වතුර පිරිච්ච වෙලේ ළිඳ මාර ලස්සනයි. වෙල මැදින් තියනවා පාරත්. දැන් ඉතින් ගොයම් එහෙමත් කපලා ටික කාලයක් නිසා වෙලේ දුවන්න සෙල්ලම් කරන්නත් ඉඩ තියනවා. නාන්න යන්නෙ මායි නංගිලා තුන් දෙනයි මල්ලිලා දෙන්නෙකුයි. ඔය සෙට් එකට අපේ නංගි නම් එන්නෙ නෑ හැබැයි. චීත්ත 4 කුත් අරගෙන තමයි අපි යන්නෙ. චූටිම නංගියා තාම එක වසරෙ නිසා එයාට චීත්ත ඕනෙ නෑ. වැඩිපුර එකක් ගෙනියන්නෙ ඇඟ පිහින්න. වෙලාවකට වැඩිපුර චීත්තයක් ගෙනියන්නත් අමතක වෙනවා. 


ඔහොම ගිහින් අපි ඔක්කොටම එක්කෙනෙක් නාලා ඉවර වෙනකම් ඉන්නත් කම්මැලියි නේ. ඒ නිසා නියම වැඩේ තමයි මුලින් අපි සෙල්ලම් කරනවා. ඒ කියන්නෙ වතුර පනිට්ටුව අතේ තියන කෙනා අනිත් අය පස්සෙන් එලවගෙන ගිහින් එයාලට වතුර ගහනවා. ඒ අතරෙ තමයි අපිට නියම අදහසක් පහළ උනේ. වෙලේ තියනවා පොඩි මඩ වලක්. ඌරන්ට මොන සෞඛ්‍යද කියන කතාවත් ආදර්ශයට අරන් අපි කට්ටියම ඉතින් දැන් ඕකෙ මඩ වතුර පනිට්ටු පුරවලා අරන් ගහ ගන්නවා.. මඩ වලේ උඩ පනිනවා.. එක කෙළියයි. සමහර අය ඉතින් අපිට රවාගෙනත් යනවා එතකොට. ඒගොල්ලොම ගිහින් කේලනුත් කියනවා ගෙදරට. :( ඔහොම මඩ නාලා බලත්දි සබන් අරන් ඇවිල්ලත් නෑ.  ආපහු ගේන්න යන්නත් කම්මැලියි. ඉතින් දැන් මොනවා කරන්නද මී හරක් කවද්ද සබන් ගෑවෙ කියලා අපිත් නිකම්ම නාගන්නවා. ඔහොම නාගෙන එහෙම ගෙදර යත්දි හැමදාම 5 විතර වෙලා. කොහොමද ළමයින්ගෙ නෑම?? නෑම කියත්දියි මතක් වෙන්නෙ shampoo ගාලා ඇඟ සෝදන්නත් අපි දක්ෂයි. ඒක නම් උනේ මීට කලින් වතාවකදි.


දවසක් ඔහොම නාල ඉවර වෙන්න හදත්දිම තමයි පනිට්ටුව ළිඳට වැටුනෙ. කියන්න බොරුත් හදාගෙන ඔන්න අපි ගෙදරට ගියා. මම ඉතින් තාත්තාගෙ අහිංසක දූ පොඩ්ඩ නේ. මම ඉතින් හොරෙන්ම තාත්තා ලඟට ගිහින් උන දේ කිවුවා. තාත්තාත් පොඩ්ඩක් විතර රවලා බලලා (ඔයින් ගියා ඇති ) බාල්දිය අරගන්නම් කිවුවා. අපිත් හොර පූස් පැටවු ටික වගේ තාත්තාගෙ පස්සෙන් ගියා පනිට්ටුව ගන්න. වැඩියෙ ගැඹුර නැති නිසා යකඩ බටයක් දාල පනිට්ටුව ගත්තා. එදයින් පස්සෙ නම් ළිඳට යත්දි බණ අහන්න උනා. ඒ මදිවට වතුරෙ නටන්න බැරිවෙන්න චූටි මල්ලියාව අපේ පස්සෙන් එවුවා. fb එකේ මගෙ ඇල්බම් එකේ ඉන්නවා චූටි මල්ලියා. 


තව ඉතින් අපේ වැඩේ සෙනඟ අඩු වෙනකම් ඉඳලා හැංගිමුත්තම් කරන එක. හිනා වෙන්න එපා ඔන්න. පුටු ගොඩවල් අස්සෙ වී පෙට්ටිය අස්සෙ බාත් රූම් එකේ තමයි වැඩියෙන්ම හැංඟෙන්නෙ. මට නම් ලොකුම support එක දුන්නෙ ලොකු අයියා. bike එකකට මුවා වෙලා ඉඳලා ඇති උනාම ත්‍රී වීල් එක ඇතුලෙ හැංගුනා මාව හොයන්නම බැරි උනාම මටත් එපා වෙලා තිබුනෙ ඒ නිසා පුටුවක් උඩට වෙලා අන්තිමේදි වාඩි වෙලා හිටියා. ඔන්න ඔහොමයි හැංඟි මුත්තම්. 


මේවා අතරෙ වීදුරු පුරවලා සැලඩ් කාපුවා, බඩේ අමාරු හැදුන ඒවා නැතුව නෙවෙයි ඉතින්. කට්ටිය වීදුරු වලට පුරවගෙන සැලඩ් කත්දි අපි විතරක් කොහොමද බලන් ඉන්නෙ ඒ උනාට. හැබැයි ඉතින් ඔන්න අපි එක එක්කෙනා දිහා නම් බැලුවෙ නෑ ඔන්න. මොකද ඉතින් අපි බලන්න කලින් ගොඩක් කට්ටිය අපේ දිහා බලනවනේ ඒකයි. කොහොමත් අපේ අයියලා දැක්කොත් මහා සභා රැස්වීම් වලදි ඕවා එලියට එන නිසා ටිකක් පරෙස්සම් වෙන්න ඕන. මම ටිකක් දුර හිටියත් රේඩාර් පද්ධතිය මෙහෙටත් වැඩ. fb එකේ කවියක් photo එකක් පවා ඒ ගොල්ලො හොඳට අධ්‍යනය කරනවා කියලා මම දැන ගත්තෙ ලඟදි. එහෙම තමයි අයියලා උනාම ඉන්න ඕනෙ. 


කොහොම උනත් බැනුම් ඇහුවා හොඳටම. රවන එක තමයි පේන්නම බැරි. :( ප්‍රශ්නත් ඇති නොවුනාම නෙවෙයි. කොහොම උනත් කාලෙකට පස්සෙ හැමෝම එකම වෙලාවක හමු උනා.   
 

කියවන්න එකතුවෙන්න..