Buscar

ඒක හීනයක්.. :(



එක පාරටම මගේ හිත අමුතුම පාලුවකින් පිරුණා. ආයිත් ඔයාව දකින්න ලැබෙන්නෙ නෑ කියලා දැනුනාම මුලු ඇඟම පිච්චිලා ගිහින් පපුව හිරවෙනවා වගේ දැනුනා. කිසිම දවසක බලාපොරොත්තු නොවුණ දෙයක් දකිත්දි මම කොහොමද ඉවසගෙන ඉන්නෙ. මිහිදන් වුන ඔයාගෙ සොහොන් කොත බදාගෙන මම අඬන හැටි ඔයාට පේනවා නම්... මට ඔයාගෙ ලස්සන මූණ, ඔය හිනාව ආයිමත් කවදාවත් දකින්න වෙන්නෙ නෑ. මම කොහොමද ඉවසන්නෙ?? ඒ නිසාම වෙන්න ඇති මම කෑ ගහ ගහ අඬන්න ඇත්තෙ. අන්තිම වතාවට හරි ඔය ලස්සන මූණ දකින්න මම කොච්චර ආස කරාද? ඒකත් මට අහිමි වෙලා. මට ඒ මූණ දකින්න ඇයි ඉඩක් නොදුන්නෙ කියලා මම කෑ ගහ ගහ ඇඬුවා. මම මටම සාප කරා. ඒත් වැඩක් නෑ..



ඔයා මුළු ලෝකෙම දාලා ගිහින්. කවදාවත් මට හිමි නොවුණත් ඔයාගෙ ඔය ලස්සන මූණ දකින්න විතරක් හරි මම කොච්චර ආස කරාද කියලා මට දැණුනා.. ඔයාගෙ හුළඟ හරි මගේ ඇඟේ වදිනවා.. ආසාවට හරි ඔයාව දකින්න වත් පුලුවන්. ඒත් ආයිත් කවදාවත් ඒ කිසිම දෙයක් මට ලැබෙන්නෙ නැත්නම් මම ජීවත් වෙන්නෙ මොකටද? අවුරුදු ගානක් තිස්සෙ ඔයා ගැන මතකය එකතු කරපු තැන් මතක් කර කර මම ඇඬුවා. එක අකුරකින් පවා ඔයාගෙ මතකය මම එකතු කරා. ඒ හැමදේම නංගිට පෙන්න පෙන්නා මම කෑ ගහ ගහ ඇඬුවා. මගේ මුලු ජීවිතේටම හිස් තැනක් ඉතුරු වෙලා.. රික්තකයක් වගේ.. කිසිම දෙයක් නෑ. ඒ හිස්තැන පිරෙන්නෙ කොහොමද?? මේ ලෝකෙ ලස්සනම කෙනා ඔයා කියලා දැකපු මම කොහොමද ඉවසන්නෙ?


ආපහු ඔයා දැක්කොත් මම ඔයාගෙ මතකය එකතු කරපු හැටි, අවුරුදු ගානක් තිස්සෙ මම එකතු කරපු පුංචි පුංචි දේවල් දිහා බල බලා මම අඬන හැටි, ඔයාව ආයිමත් මේ ලෝකෙදි දකින්න මම ආස කරන හැටි..., ඔයත් අඬාවි මාත් එක්කම. මට ආසයි ඒ හැමදේම ඔයාට පෙන්න පෙන්නා ඔයාව බදාගෙන අඬන්න. ඒත් කෝ ඔයා?? ගලක් වගේ තියෙන ඔයාගෙ හිත උණුවේවි එතකොට. ඔයාටත් විශ්වාස කරන්න බැරි තරමටම මම ඔයාගෙ එක අකුරක් ලියවුණු තැනක් පවා එකතු කරගෙන ඉන්න හැටි දැකලා ඔයාගෙ ඇස් වලත් කඳුලු  පිරේවි. ඒ මොනවා නැතත් එක මොහොතකට හරි දකින්න ඔයා ඉන්නවා නම් ඒකත් මට ඇති.

පොත් ප්‍රදර්ශනේ..



ගොඩක් අය පොත් ප්‍රදර්ශනය ගැන මොනවාම හරි කියලා තියනවා දකිත්දි මටත් හිතුනා මොනවා හරි ලියන්න ඕන කියලා. අද ලිව්වෙ නැත්නම් ඒ ගැන ලියන්න තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවනේ. අපේ අත්තගේ හත්දවසේ දානෙ ඉවර වෙලා බෝඩිමට ඇවිත් අඟහරුවාදා කැම්පස් එකට ගියා ගොඩක් දවසකට පස්සෙ.  ඒ වෙලාවෙ අනූ තමයි එක පාරටම පොත් ප්‍රදර්ශනේ ගැන මතක් කරේ. කොහොම හරි දෙන්නම කතා උනා ඊළඟ දවසෙ උදේ 8 වෙත්දි BMICH එකට යන්න එනවා කියලා.



අපි දෙන්නාටම 8 උනේ 9.30ට විතර. අම්මා උදේම දීපු සල්ලිත් අරගෙන බදාදා උදේ දෙන්නත් එක්ක 154 ට නගිත්දි කැම්පස් එකේ අයගෙන්ම බස් එක පිරිලා. ඒ මදිවාට මගදිත් සැමන් පැක් කරා. :( කොහොම හරි BMICH එක ලඟට යත්දි බස් එකේ හිර වෙලාම මහන්සියි. 


මුලින්ම ටිකට් එකත් අරන් ඇතුලට ගිහින් මුල් කුටි 2ක් විතර යත්දි අතේ සල්ලි ඔක්කොම වගේ ඉවරයි. ඇතුලෙ තිබුණ කුටි වලත් ඇවිදලා ඉතුරු වෙලා තිබුණ සල්ලිත් ඉවර කරගත්තත් හිතට නම් හරිම සතුටුයි. අපි දෙන්නාම කතා උනේ ඊලඟ අවුරුද්ද වෙත්දි හැම මාසෙම පොත් ගන්නම කීයක් හරි ඉතුරු කරල තියාගන්නවා කියලා. කොහොම උනත් රස්නෙටයි තිබහාටයි බීපු ෆැන්ටා එක ඇරෙන්න කෑම බීමටවත් අපි දෙන්නා වියදම් කරේ නම් නෑ. ලෝබකමකට නම් නෙවෙයි ඒ සල්ලි වලිනුත් මොනවා හරි ගන්න පුලුවන් නිසා.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ කුටියෙන් ගත්ත රුවන්මැලිසෑයෙ පින්තූරෙ දැකලා අම්මා ගොඩක් සතුටු උනා. ගෙදර ආපු ගමන්ම අම්මා කරේ ඒ පින්තූරෙ මට රාමු කරවලා ගෙනැත් දීපු එක. කොහොම උනත් පොත් ටිකයි ඊට අමතරව ගත්ත පින්තූර වගේ දේවලුයි දැකලා නංගිත් සතුටු උනා. මගේ පුංචි පුස්තකාලෙට කොහොම හරි තවත් හොඳ පොත් ටිකක් එකතු උනා.

මගේ සුදු මැණිකෙගෙ ෆොටෝ...

 ඔන්න දැන් ටික දවසකට කලින් මම මගේ සුදු මැණිකෙ ගැන කිව්වානේ.. ඔන්න අද මම එයාගෙ ෆොටෝ ටිකක් දාන්න හදන්නෙ..


මේ සුදු මැණිකෙ අපේ චූටි මල්ලියා එක්ක. එයා මට ලැබෙන්න කලින්.


මේ අපේ ගමේ බාප්පලාගෙ ගෙදරදි.. එයා මම අරන් ආවට පස්සෙ.


මාත් එක්ක වෙලට ගිහින් පිදුරු ගොඩක් ඇතුලට වෙලා ඉත්දි.


මේ මාලනී නැන්දලාගෙ ගෙදරදි..


මේ අපි ගමේ ඉඳන් එන දවසෙ. බාප්පලාගෙ ගෙදරදි.


මුල්ම ෆොටෝ එකත් එක්ක බලත්දි එයා ටිකක් ලොකු වෙලා වගෙයි. :D

(ඒත් මගේ පැටියාව වඩාගෙන ඉඳලාම එයා චූටි වෙලාද මන්දා..)

ප.ලි- මගේ සුදු මැණිකෙට බෝඩිමේ ගෙදර අය කියන්නෙ සුදු පුතා කියලා.. මාලනී නැන්දා තමයි එයාට මුලින්ම පුතා කිව්වෙ. අයිතිකාරයාට කියන නම හා පැටියාට කියන එකත් නරකම නෑ නේ...

මාතර ලස්සනයි...



හැමදාමත් ගමේ ලස්සනයි ගමට තියන ආසාවයි ගැන කිව්වාට ඉපදුණු දවසෙ ඉඳන්ම මගේ ජීවිතේ හොඳටම අඳුරන මගේ ගෙදර ගැන කිසිම දවසක මේ බ්ලොග් එකේ තාම ලියවිලා නෑනේ.. ගෙදර තියෙන්නෙ ඉතින් මාතර නේ.. ගම තියෙන්නෙ නම් මාතර ඉඳන් බස් එකේ ගියොත් පැය 8 කටත් වඩා දුරින්. මාතර ටවුන් එකේම තියන අපේ ගෙදර පරිසරය ගම තරම්ම ලස්සන නැති උනාට අමුතුම ලස්සනක් ඒ පරිසරයෙත් තියනවා. ගෙදර මිදුලට ගියාම ඈතින් නිල් පාටට පේන කඳු පන්තිය, පැත්තෙන් පේන පන්සලේ චෛත්‍යයේ කොත, කොළ පාට ගස් කොළන්.. මේ හැම දෙයක්ම මාව නගරයේ තියන කටුක බවින් ඈත් කරනවා.


අපේ ගෙදර තියෙන්නෙ පුංචි කන්දක. එක ලඟින් ගෙවල් ගොඩක් තිබුනාට අමුතුම නිස්කලංක බවක් ඒ පරිසරයෙ තියනවා. සමහර වෙලාවට ඒ ගෙවල්වල් ඉන්නෙ කවුද කියලාවත් නොදන්නවා උනාට, ගමේදි වගේ නෑදෑයො නැති උනාට අපේ ගෙදර ඇතුලෙ, මිදුලෙ විතරක් අපි ගෙවන ජීවිතෙත් කම්මැලි කමක් නම් දැනෙන්නෙ නෑ. සමහර විට අපි ඒ ජීවිතේට පුංචි කාලෙ ඉඳන් හුරු උන නිසා වෙන්න ඇති. අපේ ගෙදර මිදුලෙ ගස් ගොඩක් තියනවා. හැම එකක්ම ලොකු ගස්. අපේ අම්මලාගෙත් අපෙත් කාර්යබහුලත්වය නිසාද මන්දා ලස්සනට මල් වවලා මිදුල ලස්සන කරල නැති උනාට මගේ ආසාවට ගෙදර ඇති කරන සත්තු, වත්තෙ ඉන්නකොට මල් වැවුවාටත් වඩා ලස්සනයි කියලයි මට දැනෙන්නෙ. 


අපේ ගෙදර තියන කන්දෙන් අනිත් පැත්තට බැස්සොත් මාතර මුහුදු වෙරළෙ ලස්සනම කෙළවරට එන්න පුලුවන්. අපේ ගමෙන් නෑදැයො ආපු දවසට නම් ඒ කන්දෙන් බැහැලා අපි වෙරළට යනවා. එතන ඉන්න කකුළුවො බල බල, ගලින් ගලට පැනලා මුහුදු වතුර පිරුණු වලවල් වල ඉන්න පුංචි මාලුවො මුහුදු අශ්වයො බලනවා. එහෙම දවසක ගෙදර යන්නෙ නම් ඇඳුම් ඔක්කොම තෙත බරිත කරගෙන. ලස්සනම ලස්සන මාතර මුහුදු වෙරළෙ ලස්සනම තැන එතන කියලයි මම නම් දන්නෙ. 


අපේ ගෙදර තියන කන්දෙ මොණරු ඉන්නවා. පිල් විහිදගත්ත මොනරෙක් කලාතුරකින් උනත් දකින්න ලැබෙන එක කොච්චර වාසනාවක්ද? දඬු ලේන්නු ඇවිත් අඹ ගස් වල ඉන්නකොට, වැලි අනෝදා ගහේ ගෙඩි කනකොට මම බලන් ඉන්නෙ හරිම ආසාවෙන්. හැමදාමත් වැලි අනෝදා ගහේ ගෙඩි කන්නෙ දඬු ලේන්නුයි වඳුරොයි විතරයි. එයාලා කාල ඉවර වෙත්දි අපිට ඉතුරු වෙන්නෙ නෑ. ටවුන් එක කිට්ටුවම මේ වගේ පරිසරයක් තියන එක කොච්චර වාසනාවක්ද? හදිස්සියකට මාතර ටවුන් එකෙන් බැහැලා පයින් එන්නත් පුලුවන් නිසා, හැම පහසුකමක්ම අත ලඟින්ම තියන නිසා අපි ඉන්න ගෙදර තියන තැන ගැන නම් ආඩම්බර වෙන්නම ඕන. 


මම ඉතින් ඉස්කෝලෙට යන්න ගෙදරින් එළියට බහින්නෙත් 7.15 පහුවෙලානේ. 7.30ට ඉස්කෝලෙ පටන්ගනිත්දි ඒ වෙලාවට ගියාම ඉස්කෝලෙ ඉන්න පුලුවන්. නිල්වලා ගඟ පහුකරගෙන උදේට ඉස්කෝලෙ යත්දි සමහර දවසට ගඟෙන් එහා පැත්තට වෙලා ඉන්න කිඹුලත් බලාගන්න පුළුවන්. මුහුදු හුළඟෙ සීතල වැදි වැදි ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුලට දුවගෙන යන හැටි මට තාමත් මතක් වෙනවා. සමහර දවසට කම්මැලි හිතුනාම ෆෑන් එක දාගෙන නිදාගන්න හැටි මතක් වෙලා හිනා යනවා. එහෙම දවසක ස්කූල් ඇන්තම් එක කියන වෙලාවට තමයි ඇහැරෙන්නෙ. 


කැම්පස් යන්න මෙහෙ ආවට පස්සෙ හැමදාමත් සිකුරාදා වෙනකම් බලන් ඉන්නෙ ගෙදර දුවන්න. ගෙදර ඉන්න හා පැටවු, බලු පැටවු මතක් වෙත්දි හැමදාම ගෙදර නවතින්න හිතෙනවා. දැන් නම් මේ ජීවිතේ පුරුදු වෙලා. බස් එකේ පැය 5ක් විතර යන ගමන මතක් වෙත්දි එපා උනාට ගෙදර ලං වෙත්දි ඒ මහන්සිය නිකම්ම නැති වෙලා යනවා. කොහොම උනත් මම ඉපදුණු දා ඉඳන්ම අද වෙනකම් මගෙ ජීවිතේ දුක සතුට දැකපු මගේ ගෙදර හැමදාමත් මට වටිනවා...

මතකය දිගේ..- ගමට මම ආදරෙයි.



මේ පාර ගමේ ගිහින් එත්දි හිතට දැණුනෙ ලොකු දුකක්. එක අතකින් මට කිරි අම්මයි අත්තයි දෙන්නාම නැති උනා. ඒ නිසාම ගමත් එක්ක අපිව බැඳගෙන තිබුන ලොකුම බැඳීම ලිහුණා. මගේ සීයාව මම කවදාවත් දැකලා නෑ. අපේ අම්මා මම විතර කාලෙදිලු සීයා නැති උනේ. ආච්චි නැති වෙත්දි මම තුන වසරෙ. එදා ඉඳන් මට හිටියෙ කිරි අම්මයි අත්තයි. අජිත් අයියා හැමදාමත් කියනවා වගේ ලී මිටියක් එකට එකතු කරලා ගහලා තිබුණු ඇණ දෙකකින් එකක් ගැලවුණා, දැන් අනිත් ඇණයත් ගැලවිලා. ලී මිටිය විසිරිලා යනවා. මේ හැමදේම දැන දැනත් කොහොමද දුකක් නැතුව ගමෙන් එන්නෙ? වෙනදාට ගමෙන් එන්නෙ හරිම සැහැල්ලුවකින්. මොන දේ උනත් ඒ පොළවට ඒ හුළඟට මම ගොඩක් ආදරෙයි. ඒ නිසාම වෙන්න ඇති ගමෙන් එන්න ආපු වෙලවෙ ඉඳන්ම හිත මහා පාලුවකින් පිරුණෙ.



ගමේ ගියාම ලොකු අම්මලාගෙ නැන්දලාගෙ බාප්ප්ලාගෙ ගෙවල් වලට දුවන්න, මොනවා හරි කියව කියව හිනා වෙන්න, වෙලේ හුළඟෙ සීතල විඳින්න, පාර දිහා බලාගෙන ඉන්න මම කොච්චර ආසද? හැමදාම වෙලේ ළිඳෙන් නාලා දිය රෙද්ද පිටින් නියර උඩට වෙලා ඉඳගෙන තුවායෙන් ඔලුව පිහදාන ගමන් වෙල මැද්දෙන් යන ගුරු පාර දිහා බලන් ඉන්න, හුළඟට කොණ්ඩ කැරළි පැද්දෙත්දි හිනාවෙවී විහිලු කරන්න, සමහර දවසට ඒ පාරෙ යත්දි ඔයා මගේ දිහා බලාගෙන යනවා දකින්න, ඉඳලා හිටලා හරි කරන විහිලුවක් මතක් කර කර හිනා වෙවී ඉන්න, හැමදේම එපා කියලා තරහෙන් ගේ ඉස්සරහා පඩිය උඩට වෙලා වාඩිවෙලා ඉන්න, මේ හැමදේටම මම කොච්චර ආසද?


වෙලේ ළිඳයි මායි අතරෙ තියෙන්නෙ හරි පුදුම සම්බන්ධයක්. ඒ වතුරට මම හරිම ආසයි. ඒ හුළඟ තරම් සීතල සනීප හුළඟක් මගේ ජීවිතේදි වෙන කොහෙදිවත් විඳලා නැතුව ඇති. බාල්දිය ළිඳට දාගෙන තාත්තා හොයාගෙන දුවන්න, ළිං ගැට්ටෙ බාල්දිය වැදුනම බාල්දියට එන කූණිස්සො බලන්න, ලිං ගැට්ටෙ අයිනටම කකුල තියාගෙන වතුර ගන්න මම පුදුම ආසයි.


මේ පාර ගමේ ගියපු වෙලාවෙ මට ඇස් ලෙඩ හැදුනානේ. ඒකෙනුත් මම ගමේ තියන ලස්සනම දේවල් ගොඩක් අත්වින්දා. උදේම නැගිටලා සීතල තැඹිලි වීදුරුවක් බීලා, තුවායත් අරන් ළිඳට යත්දි නියරෙ වැවිච්ච තණකොළ වල පිණි බින්දු වේලිලාවත් නෑ. ඒ වෙලාවට අවුවෙ රස්නෙ දැනුනාට වතුර සීතලයි. උදේ පාන්දරම නාන එක කොච්චර සනීපද කියලා මට දැනුනෙ මේ දවස් ටිකේ. නින්ද ගිහින් ළිඳට වැටෙයි කියලා විහිළු කරගෙන ඔයා ගියාම මට වැඩිපුරම හිනා ගියේ ඔයා දැකලා නැති උනාට ඊටත් වඩා ළිං ගැට්ටෙ අයිනෙම මම ඉඳලා තියන නිසා. එදා විතරමද කොහෙද මට විතරක්ම ඔයා විහිළු කරේ.


දුක නැතුවමත් නෙවෙයි ඒත් හිනා වෙවී දවස් ගෙවිලා ගියා. දුක හිතෙන ගොඩක් දේවල් එක්ක හිනා වෙවී හිටපු වෙලාවල් වැඩිද මන්දා.. මොනම හරි හේතුවක් හොයාගෙන අපි හැමෝම හිනා උනා. ඒත් නොහිතපු තරම ඉක්මනට හැමදේම වෙනස් වෙනවා. අපි නොදැනුවත්වම ඈත් වෙනවා. ගමේ ඉඳන් එත්දි මගේ හිත ඇතුලෙන් මොකද්දෝ වෙනවා වගේ දැණුනා. බස් එකේ එත්දි පහුවෙන හැම ගහක් කොළක්ම මාව ගමෙන් ඈත් කරනවා වගේ දැණුනා. ඒත් මම දන්නවා මට ගමෙන් ඈත් වෙන්න බෑ. ගමට ලං වෙන්න මම ආසයි. කවදාහරි ගමේම නවතින්න මම එන්න ඕන... සමහරවිට ඒක හීනයක් වෙන්න ඇති.

මගේ සුදු මැණිකේ..



සුදු මැණිකෙ කියන්නෙ මගේ ජීවිතේ මට ලැබුනු වටිනාම තෑග්ගක්. ඒකට හේතු ගොඩක් තියනවා. මගේ සිඟිති නැති උනාට පස්සෙ මට අහම්බෙන් වගේ ලැබුණු ඒ වගේම ගොඩක් අමාරුවෙන් ලබාගත්ත පුංචි හා පැටියෙක් එයා. ඇස් දෙක වගේ බලාගන්න කියලා දීපු හා පැටවු දෙන්නා මට දෙන්න බෑ කියලා තියෙද්දි, එක හා පැටියෙක් පූසෙක් අල්ලන් ගියාම අනිත් හා පැටියාව මට දුන්නා. ඉතින් දැන් මම එයාව ගොඩාක් ආදරෙන් ඇස් දෙක වගේම බලාගන්නවා. (මගේ ඇස් දෙක වගේ නම් නෙවෙයි. මොකද මගේ ඇස් දෙකට මම ඒ තරම් ආදරේ නැති නිසා.)


සුදු මැණිකෙට මම ආදරේට සුද්දො කියලාත් කියාවා. අපේ නංගි නම් තරූ කියනවා. එතකොට තමයි මට තරහා යන්නෙ. මගෙ සුදූට තරූ කියන්න ඕනෙ නෑනෙ එයාට. කොහොම උනත් මගෙ සුදූට මම ගොඩාක් ආදරෙයි. මම ඇති කරන හතර වෙනි හා පැටියා ඔයා. ඒ උනාට ඔයාගෙයි මගෙයි ජීවිත සම්බන්ධ කරපු බැම්ම නිසාම මට ඔයා ගැන ලොකු බැඳීමක් දැනෙනවා.


අපේ අත්තා හදිසියෙම නැති වෙලා කියලා දැනගෙන ඔයාව තියලා යන්න තැනක් නැති නිසා ඔයාව ගමේ එක්කන් ගියාම ඔයාව බලාගන්න කියලා මම මාලනී නැන්දලාගෙ ගෙදරට දුන්නෙ මළ ගෙදර ඔයාව තියාගන්න අමාරු නිසා. එදා ඉඳන් අද වෙනකල්ම ගොඩාක් ආදරෙන් බලාගෙන අද ඔයාව ආපහු අපිට බාරදෙන්න දුකින් අඬන්න තරමට මාලනී නැන්දා ඔයාට ගොඩාක් ලං වෙලා තිබුනා. ඒක මට ඔයාව බලන්න එහෙ ගියපු හැමදාකමත් දැනුනා. ඔයාට පුතේ කියලා කතා කරද්දි, මගේ දරුවා කියලා ඔයා ගැන කියත්දි, ඔයා ගැන මගේ හිත සතුටින් පිරුණා. 


හා පැටියාගෙ අයිතිකාරයා ගොඩක් අය ඉස්සරහ හා පැටියා එයාගෙ කියත්දි මගේ හිතට දැණුනු හැඟීම කියාගන්න බෑ. හැමදේම වෙලා ඉවරයි. ගමට අපිව බැඳගෙන තිබුණු ලොකුම බැඳීමත් ලිහුණා. ගමට මාව බැඳගන්න තිබුණු එකම බැඳීමත් මට අයිති නෑ කියලා දැණුනා. ඒත් හැමදේම අතරින් ඔයා මට සිහිවටනයක් වෙලා. හැමදේම අලුත් කරන්න මගේ ලඟ ඔයා ඉන්නවා. ඉතින්, හැමදාමත් ඔයා මගේ ජීවිතය අලුත් කරාවි. හැමදේම නැතත් මට ඔයා ඉන්නවා. මගේ සුදු මැණිකේ...


(මගේ සුදු මැණිකෙගෙ ෆොටෝ එකක් ඉක්මනටම දාන්නම්. ඩේටා කේබල් එක නැති නිසා ෆොටෝ එකක් දාන්න විදිහක් නෑ. )

අසුරු සැණින් එක මොහොතක දී.. කාලය නැවතී යලි ඇරඹී.. විශ්වය අලුතින් බිහි වේවා! ඔබේම වීමා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා...!





ජීවිතේ මම කාගෙන්වත් අහපු නැති තරම් ඔයාගෙන් බැනුම් අහත්දි ඔයා එදා මගේ දකුණු අත ඔයාගෙ වමතට හිර කරගෙන හිටපු පැය ගාන මතක් වෙනවා. ලස්සනම ලස්සන ඇස් දෙකෙන් මගේ දිහා බලලා හිනා වෙවී කතා කරපු හැටි හීනයක් වගේ මතක් වෙනවා. වචනයකින් විතරක් දැනන් හිටපු ආදරය මගේ අතැඟිලි දිගේ ගිහින් ඒ උනුසුම හදවතටම දැනුනෙ එදා. එදා ඔයාගෙ ඒ ඇස් දෙකට අත්වල උනුසුමට මම වශී උනා. ඉතින් මම වැරදිද?? ඔයාගෙ අත් දෙකෙන් මගේ අත් දෙකම අල්ලගෙන හිනා වෙලා මගේ දිහා බලත්දි ඒ ඇස් වලින් කියවුනේ ආදරය නෙවෙයිද?? ලෝකයෙන්ම බැනුම් අහන්න වෙයි කියලා බයේ ඔයාගෙන් ඈත් උනත් තාමත් මම ඔයාට ආදරේ කරන්නෙ ඇයි? මමයි වැරදි. මම එදා ඔයාගෙන් ඈත් උනේ මගේ වුවමනාවට. මගේ ෆොටෝ එකක් එවන්න කිව්වම මම ඒක මග ඇරියෙ ඒ වගේ දෙයක් පරෙස්සම් කරන්න තරමට නිදහසක් ඒ වෙත්දි අපි දෙන්නාගෙම ගෙවල් වලින් ලැබෙන්නෙ නෑ කියලා දන්න නිසා. ඊටත් අපේ ගෙදර අයට විතරක් නෙවෙයි ඔයාලාගෙ ගෙදර අයටත් හැමදේම දැනගන්න ලැබුනොත් ඇති වෙන තත්වෙ ඔයාටත් වඩා මට දැනුන නිසා. එදා ඔයාගෙන් ඈත් වෙන්න හදපු එක මම කරපු ලොකුම මෝඩකම වෙන්න ඇති.


එදා නොදැනුන තරම් ආදරයක් අද මට දැනෙන්නෙ ඇයි? එදා වගේ නැතුව වචනෙකින් පවා ඔයා මාව එපා කියන්නෙ ඇයි? එක පාරක් එපා නම් දහස් වාරයක් එපා කියලා ඔයා හිතපු නිසාද?? නැත්නම් එන හැම ප්‍රශ්නෙටම මුහුණ දෙන්න තරම් හයියක් ඔයාගෙ හිතේ නැති නිසාද? එහෙමත් නැත්නම් ඔයා ඊට පස්සෙ ලබපු ආදරේ ඔයාගෙ මුල්ම ආදරේ කියලා ඔයා හිතන නිසාද?? අදත් ඔයා කිව්වෙ ඔයාගෙ හිතේ එහෙම දෙයක් තිබිලත් නෑ ඇත්තෙත් නෑ කියලා. ඒ වෙලාවෙ මට කියාගන්න දෙයක් නැති උනා. මම ඔයාට කිව්වෙ ඔයා එහෙම කියනවා නම් මටත් එහෙම කියන්න පුලුවන් කියලා. ඔයා වැරදි නැතිලු. මම දන්නවා ඔයා වැරදි නෑ කියලා. එතකොට මම වැරදිද? ආදරය කියන්නෙ වරදක්ද? නොගැලපීම් ගොඩක් තිබුනත් ආදරය කියන හැඟීමට ඒක බාධාවක් වෙනවද?? හිතට දැනුණු බය නිසා නෙවෙයිද මම ඔයාගෙන් ඈත් වෙන්න හැදුවෙ? ඒත් අද ඔයා දකිත්දිත් ඒ හැම බාධාවකටම වඩා ඔයා ගැන මගේ හිතේ තියන ආදරය ඉස්සර වෙන්නෙ ඇයි?


අද මට මගෙ තීරණ ගන්න මහා ලොකු බාධාවක් නෑ කියලා දැනෙත්දි කලින් තිබුණ ආදරේ ආයිත් මට දැනුනා. ඒකට ඔයාගෙ හිනාව, මගේ දිහා බලන විදිහ, කතා කරත්දි ඔයා කියපු සමහර දේවලුත් හේතුවක්. කාලෙකට පස්සෙ අහම්බෙන් වගේ දෙපාරක්ම ඔයාගෙ අත මගේ අතේ වැදෙත්දි, ඒ දවසම මම ඇත්තටම ජීවත් උනා මට දැනුනා. වෙනදා වගේ නැතුව ඔයා මගේ දිහා බලාගෙන ඉත්දි ජීවිතේ ආයිත් වෙනස් වෙයි කියලා පුංචි බලාපොරොත්තුවක් ඇති උනා. ඔයාගෙ ෆොටෝ එකක් ඔයාටත් හොරෙන් අරන් ඒ දිහා බලන් ඉන්නවා කියලා ඔයා දන්නවා නම් ඔයා මට බනීවි මීටත් වඩා. මගේ ෆෝන් එක කවුරු හරි අරන් කියලා මම හැම තැනම හොයත්දි ඔයා දැනන් හිටියා ඒක හංගලා කියලා. ඔයා දන්නවා නම් මම ඒ තරම්ම ෆෝන් එක හෙවුවෙ ඔයාගෙ ෆොටෝ එක කවුරු හරි දකින්න කලින් ෆෝන් එක හොයාගන්න ඕන නිසා කියලා.. 


ඔයා මට අද බැන්නෙ ඔයා ආදරය කරන කෙනා දිහා මම බලන් හිටියා කියලා එයා ඔයාට කියපු නිසා වෙන්න ඇති. ඒත් ඇත්තටම මට ඒක මතක් උනෙත් ගොඩක් වෙලාවකින්. මම එයාව ලඟට දැකලාම නෑ. ඒකයි මම එයා දිහා බැලුවෙ. වෙනදාට ඔයාගෙ ගෙදර ඉත්දි එයා මාත් එක්ක හිනා වෙනවා. එදා මම හිනා වෙලත් එයා මාත් එක්ක හිනා උනේ නෑ. ඊටත් මම වගේම එයත් ගොඩක් වෙලා මගේ දිහා බලන් හිටියා. ඔයාලගෙ ගෙදර ගියාමත් එයා මගේ දිහා බලන් ඉන්නවා. ඒත් මම ඒවා ඔයාට කිව්වෙ නෑ. ඇත්තටම මම හිතුවෙ ඒ හැම දෙයක්ම දැන් නවත්වලා කියලා. ඔයා මට එහෙම කිව්වා. එයාට ඔයාගෙ ගෙදරින් කැමති නෑ. එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවාලු. එයාලා තව අවුරුද්දකින් විතර කසාද බඳින්නලු ඉන්නෙ. මේ හැම දේම ඔයාත් මට කිව්වා.


හැමදේම වෙනස් වෙලා. ආයිමත් මට බලාපොරොත්තුවක් වත් නැති වෙලා. අද දවල් මගේ දිහා බලලා විහිළු කරපු ඔයා ෆෝන් එකෙන් කතා කරාම මට බැන්නෙ ඇයි?? ඔයා  පැයකටත් වඩා අද දවල් කෝල් එකක හිටියා. මම එත්දිත් ඔයා කෝල් එකේ. දැන් සතියක විතර ඉඳන් ඔයා ගොඩක් වෙලා ෆෝන් එකෙන් කතා කරනවාලු. ඒ කියන්නෙ ආයිත් ඔයා පරන දේවල් පටන් අරන්ද? එයා ඔයාට කියපු දෙයක් නිසාද ඔයාට ඒ තරම්ම තරහා ගියේ?? ඔයාට මම ආදරේ නැත්තෙ නෑ. ඒත් මගේ හිතේ එහෙම දෙයක් නෑ කියන්න තරම් මම මගේ හිත එකඟ කරගෙන ඉන්නෙ. බත් කටක්වත් උගුරෙන් පහලට යන්නෙ නෑ ඔයා ගැන බලාපොරොත්තුවක්වත් තියාගන්න බෑ කියලා හිතෙත්දි. හැමදාමත් එහෙම වෙත්දි මට දැනෙන්නෙ හිත ඇතුලෙ පත්තු වෙන ගින්නෙන් ඇතුලතින් පිච්චි පිච්චි තවත් ඉන්නෙ නැතුව ඒ ගින්දරෙන්ම මාව පිච්චිලා අළු වෙලා යනවානම් හොඳයි කියලා. 


කාලය හැමදේම විසඳනවා කිව්වාට කාලය අපිට නපුරුකම් කරනවා. කමක් නෑ.. ජීවිතය කියන්නෙ අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. ඒත් බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා.

අසුරු සැණින් එක මොහොතක දී.. කාලය නැවතී යලි ඇරඹී.. විශ්වය අලුතින් බිහි වේවා! ඔබේම වීමා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා...!
 

කියවන්න එකතුවෙන්න..