Buscar

මතකය දිගේ..- ගමට මම ආදරෙයි.



මේ පාර ගමේ ගිහින් එත්දි හිතට දැණුනෙ ලොකු දුකක්. එක අතකින් මට කිරි අම්මයි අත්තයි දෙන්නාම නැති උනා. ඒ නිසාම ගමත් එක්ක අපිව බැඳගෙන තිබුන ලොකුම බැඳීම ලිහුණා. මගේ සීයාව මම කවදාවත් දැකලා නෑ. අපේ අම්මා මම විතර කාලෙදිලු සීයා නැති උනේ. ආච්චි නැති වෙත්දි මම තුන වසරෙ. එදා ඉඳන් මට හිටියෙ කිරි අම්මයි අත්තයි. අජිත් අයියා හැමදාමත් කියනවා වගේ ලී මිටියක් එකට එකතු කරලා ගහලා තිබුණු ඇණ දෙකකින් එකක් ගැලවුණා, දැන් අනිත් ඇණයත් ගැලවිලා. ලී මිටිය විසිරිලා යනවා. මේ හැමදේම දැන දැනත් කොහොමද දුකක් නැතුව ගමෙන් එන්නෙ? වෙනදාට ගමෙන් එන්නෙ හරිම සැහැල්ලුවකින්. මොන දේ උනත් ඒ පොළවට ඒ හුළඟට මම ගොඩක් ආදරෙයි. ඒ නිසාම වෙන්න ඇති ගමෙන් එන්න ආපු වෙලවෙ ඉඳන්ම හිත මහා පාලුවකින් පිරුණෙ.



ගමේ ගියාම ලොකු අම්මලාගෙ නැන්දලාගෙ බාප්ප්ලාගෙ ගෙවල් වලට දුවන්න, මොනවා හරි කියව කියව හිනා වෙන්න, වෙලේ හුළඟෙ සීතල විඳින්න, පාර දිහා බලාගෙන ඉන්න මම කොච්චර ආසද? හැමදාම වෙලේ ළිඳෙන් නාලා දිය රෙද්ද පිටින් නියර උඩට වෙලා ඉඳගෙන තුවායෙන් ඔලුව පිහදාන ගමන් වෙල මැද්දෙන් යන ගුරු පාර දිහා බලන් ඉන්න, හුළඟට කොණ්ඩ කැරළි පැද්දෙත්දි හිනාවෙවී විහිලු කරන්න, සමහර දවසට ඒ පාරෙ යත්දි ඔයා මගේ දිහා බලාගෙන යනවා දකින්න, ඉඳලා හිටලා හරි කරන විහිලුවක් මතක් කර කර හිනා වෙවී ඉන්න, හැමදේම එපා කියලා තරහෙන් ගේ ඉස්සරහා පඩිය උඩට වෙලා වාඩිවෙලා ඉන්න, මේ හැමදේටම මම කොච්චර ආසද?


වෙලේ ළිඳයි මායි අතරෙ තියෙන්නෙ හරි පුදුම සම්බන්ධයක්. ඒ වතුරට මම හරිම ආසයි. ඒ හුළඟ තරම් සීතල සනීප හුළඟක් මගේ ජීවිතේදි වෙන කොහෙදිවත් විඳලා නැතුව ඇති. බාල්දිය ළිඳට දාගෙන තාත්තා හොයාගෙන දුවන්න, ළිං ගැට්ටෙ බාල්දිය වැදුනම බාල්දියට එන කූණිස්සො බලන්න, ලිං ගැට්ටෙ අයිනටම කකුල තියාගෙන වතුර ගන්න මම පුදුම ආසයි.


මේ පාර ගමේ ගියපු වෙලාවෙ මට ඇස් ලෙඩ හැදුනානේ. ඒකෙනුත් මම ගමේ තියන ලස්සනම දේවල් ගොඩක් අත්වින්දා. උදේම නැගිටලා සීතල තැඹිලි වීදුරුවක් බීලා, තුවායත් අරන් ළිඳට යත්දි නියරෙ වැවිච්ච තණකොළ වල පිණි බින්දු වේලිලාවත් නෑ. ඒ වෙලාවට අවුවෙ රස්නෙ දැනුනාට වතුර සීතලයි. උදේ පාන්දරම නාන එක කොච්චර සනීපද කියලා මට දැනුනෙ මේ දවස් ටිකේ. නින්ද ගිහින් ළිඳට වැටෙයි කියලා විහිළු කරගෙන ඔයා ගියාම මට වැඩිපුරම හිනා ගියේ ඔයා දැකලා නැති උනාට ඊටත් වඩා ළිං ගැට්ටෙ අයිනෙම මම ඉඳලා තියන නිසා. එදා විතරමද කොහෙද මට විතරක්ම ඔයා විහිළු කරේ.


දුක නැතුවමත් නෙවෙයි ඒත් හිනා වෙවී දවස් ගෙවිලා ගියා. දුක හිතෙන ගොඩක් දේවල් එක්ක හිනා වෙවී හිටපු වෙලාවල් වැඩිද මන්දා.. මොනම හරි හේතුවක් හොයාගෙන අපි හැමෝම හිනා උනා. ඒත් නොහිතපු තරම ඉක්මනට හැමදේම වෙනස් වෙනවා. අපි නොදැනුවත්වම ඈත් වෙනවා. ගමේ ඉඳන් එත්දි මගේ හිත ඇතුලෙන් මොකද්දෝ වෙනවා වගේ දැණුනා. බස් එකේ එත්දි පහුවෙන හැම ගහක් කොළක්ම මාව ගමෙන් ඈත් කරනවා වගේ දැණුනා. ඒත් මම දන්නවා මට ගමෙන් ඈත් වෙන්න බෑ. ගමට ලං වෙන්න මම ආසයි. කවදාහරි ගමේම නවතින්න මම එන්න ඕන... සමහරවිට ඒක හීනයක් වෙන්න ඇති.

10 comments:

N N K

හංසි ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක්. ඔය ඇත්ත කිව්වේ ආච්චි සීයා කියන්නේ පරපුරවල් කිහිපයක් එකට එකතු කරලා තියන්න පුළුවන් දෙන්නෙක්. ඒ අය නැතිඋනම සමහර අය දකින්නත් නැතිවෙනවා. එක හැටියක් නමුත් එක අපේ ජිවිතේ හැටි. සමහර විටක ආනගතයේදී අපිට උනත් එහෙම වෙන්න බැරි නෑ. නමුත් ඔයා ගමට ආස ඇයි කියල මම අමුතුවෙන් අහන්න යන්නේ නෑ. නමුත් මම අද එක අවවාදයක් දෙනවා ඔයාගේ ජිවිතේ සතුටින් ඉන්නනම් ඒ ගමේ ඉන්නවත් හිතන්න එපා. සමහර විට මම වැරදි ඇති නමුත් මම හිතන්නේ එහෙමයි. කවදාවත් ලබාගන්න බැරි දේවල් වලට බලාගෙන ඉන්නවත් එදෙවල් දකින්නවත් ඕන නෑ. අපි ජිවිතේ ඉස්සරහට යන්න ඕන. මොකද අපේ අනාගතේ තියෙන්නේ අපේ අතේ නිසා... මට හිතෙන දෙයි ලිව්වේ...

ChammA

ගම ගැන ලියල තියෙන දේවල් කියෙව්වම අපේ ගමත් අයි මතක උනා හංසි..ඒ වටපිටාව , ඉන්න මිනිස්සු ඒ දේවල් තව ටික කාලයකින් , අපිට නැත්තටම නැතිවෙලා යාවි...

හංසි

@NNK- ඔයා කියන දේත් හරි. ඒත් ජීවිතේ කියන්නෙ ලැබෙන දේවල් විතරක් නෙවෙයි. නොලැබීම් ගොඩක්. ඒ නිසා නොලැබීම් එක්ක උනත් සතුටින් ඉන්න පුලුවන් විදිහක් හොයන්නයි මට ඕනෙ.

@ChammA- හ්ම්ම්ම්... මටත් එහෙම හිතෙනවා. ඉස්සරම මම දැකපු ගමවත්, එහෙ තිබුන භාෂාව වත්, ඒ අදහස් වත්, ඒ මිනිස්සුවත් නෙවෙයි දැන් ඉන්නෙ. හොඳ නරක හැමදේම එක්ක හැමදේම වෙනස් වෙලා. ස්තූතියි ගොඩක් කාලෙකින් ඇවිත් ගියාට.

දේවා ගේ අඩවිය

මේ කියන්නේ ඉතින් කොහේ ගැනද කියලා අමුතුවෙන් මම කියන්න ඕනේ නැනේ ඉතින්

ඒ තරම් සුන්දර පරිසරයක් දාලා එනකොට දුක හිතෙන එක සාධාරනයි

හංසි

@දේවා ගේ අඩවිය- අපේ ගම ගැන බ්ලොග් ලියන අය අතරෙ දන්න එකම කෙනා අයියානේ.. ඒත් මම මේ කියන වෙලේ ළිඳේ අයියා නම් නාලා නැතුව ඇති හැබැයි. කොහොම උනත් නියරවල් වල තියන පිණි වැටිච්ච තණකොල ගැන නම් දන්නවා ඇතිනේ. ඇත්තටම මේ පරිසරයට මම ගොඩක් ආසයි. දාලා එන්න දුක හිතෙනවා.

Dinesh

මගේ ගම ගාල්ල.. මේ පෝස්ට් එක කියවද්දි මටත් ඒ කාලේ මතක් උනා.. ඒත් දැන් අවුරුදු 10-15 විතර ගමේ ගි‍යේ නෑ... ඒකට හේතු ගොඩයි...

මධුරංග

ගමක ජීවත් වෙන්න තිබ්බ නම් මාත් හරිම ආසයි. ගමේ තියෙන නිදහස් බව නගරයක ජීවත් වෙනකොට නෑ. නගරේ තියෙන කටුක පරිසරයක් වගේ යෑ ගමේ තියෙන සුන්දරත්වය.

අපේ සීයත් නැති උනේ මම් පොඩි කාලේ මට ආදරෙන් හිටි කෙනෙක්. ගොඩක් දුකයි ඒ ගැන.

සරත් ලංකාප්‍රිය

මට නම් තින් ගම හීනයක් විතරයි... මගේ හීන ගොඩක ගම තාමත් තියෙනවා. මන් හිතන්නේ ඒ හීනේ තියෙන ගම ඇත්ත එකට වඩා හොඳයි.. ඒ තරමට දේවල් වෙනස්වෙලා..

තනි අලියා

ගමයි කැලෙයි තරං ලස්සන දෙයක් නෑ හංසි!

හංසි

@දිනේෂ්- අයියා දැන් ඉන්නෙ මෙහෙ නෙවෙයි නිසා කොහොමත් ගමේ එන්නෙත් කලාතුරකින් නේ..

@මධුරංග- ගමේ තියන ලස්සන මේ පරිසරයෙ නෑ තමයි. ඒත් මේ පැත්තෙ තියන පහසුකම් ගොඩක් ගමේ නෑනේ...
අපි පොඩි කාලෙදි වැඩිපුරම හිටියෙ මෙහෙ නිසා ගමේ ගියේ කලාතුරකින්.

@සරත් ලංකාප්‍රිය- ගම වෙනස් වෙලා.. ඉස්සරම දැකපු ගමට වඩා ලොකු වෙනසක් තියනවා. අපේ හිත් ඇතුලෙන් අපි දකින ගම ගොඩක් ලස්සනයි.

@තනි අලියා- ඔව් ඔව්.. ඒක නම් ඇත්ත. ඔයාට නම් කැලේ තමයි ගොඩක්ම ලස්සන ඇත්තෙ. ගමට ආවත් ඉතින් ගමම බය කරගෙන ඉඳීවි. ගොඩක්ම ස්තූතියි මේ පැත්තෙත් ආවාට.

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..