Buscar

ඔන්න වෙඩින් කේක් ඕන.. :)



මගේ හොඳම යාලුවාගෙ විවාහ ජීවිතයට සුබ පතන්න අද මේ බ්ලොග් එකෙන් ඉඩක් ගන්න හිතුනා. අද එයාලාගෙ අවුරුද්ද නේ.. ගොඩාක් කාලෙකට පස්සෙ එයාට කතා කරේ අවුරුද්දට සුබ පතන්න. එතකොටයි මම දැනගත්තෙ මටත් හොරෙන්ම එයාගෙ වෙඩින් එක අරගෙන. :( මට හොරෙන් නම් නෙවෙයි. එයාගෙ ලඟ මගේ නම්බර් එක තිබුනෙ නැතිලු. හොයලා හොයලා අන්තිමේදි තව යාලුවො තුන් දෙනෙක්ට විතරක් කියලා. ඒත් මම ගොඩාක් ආසවෙන් හිටියෙ එයාගෙ වෙඩින් එකේ එයා මනමාලියෙක් වෙලා ඉන්නවා බලන්න. අපි හැමදාමත් කතාකරත්දි කියන්නෙ අනිවාර්යෙන් වෙඩින් එක නම් කියන්නම ඕන කියලානේ. එයා පොරොන්දු වෙලා හිටියෙ අනිවාර්යෙන් අපිට නොකියා වෙඩින් එකක් ගන්නෙ නෑ කියලත්. ඒත් දෛවය සමහර දේවල් වෙනස් කරනවානේ. මගේ යාලුවෙක්ගෙන් අහපු පළවෙනිම වෙඩින් එක මගේ හොඳම යාලුවාගෙන්ම අහන්න ලැබීමේ සතුට විඳින ගමන් තමයි මේ පෝස්ට් එක ලියන්නෙ.


එයා යෙස්මින්. මට මුලින්ම හමු උනේ අජිත් සර්ගෙ ඉන්ග්ලිශ් ක්ලාස් එකේදි. ශෝල් එකකින් ඔලුව වහගෙන හිටපු හඳක් වගේ මූණක් තියන ලස්සන අහිංසක කෙල්ලෙක් එයා. මාත් එයාගෙ ලඟින් වාඩි උනාම නුහුරු විදිහට සිංහලෙන් කතා කරා. එදා ඉඳන් හැමදාමත් එයයි මායි හොඳම යාලුවො. සුනාමියෙන් අපේ සර් නැති උනාට පස්සෙ අපි ආයිත් මුණගැහුණෙ ඉස්කෝලෙදි. ඉස්කෝලෙ  පන්ති වලදි එයා කොමස් කරේ. මම මුල් අවුරුද්දෙ සයන්ස් කරේ. සයන්ස් කරන කාලෙ සුහාරා, ෆස්මිනා, හයිෂිමා, මම තමයි පන්තියෙ හිටපු හොඳම යාලුවො. දෙන්නෙක් මුස්ලිම් දෙන්නෙක් සිංහල. යෙස්මිනුත් ඉන්ටවල් එකේදි කෑම එකත් අරන් දුවගෙන එනවා අපේ පන්තියට. ඊට පස්සෙ මම ආර්ට් ක්ලාස් එකට මාරු උනාට පස්සෙ පන්ති කට් කරේ, පරිසර සංගමේ වැඩ වලට ගියේ, අපි දෙන්නම එකට. ඒ නිසා බැනුම් අහපු වෙලාවලුත් අනන්තයි. ඒත් අපේ යාලුකම හරි පුදුමයි. මේ ලෝකෙ ජාති ආගම් භේදයක් තියනවාද කියලා හිතාගන්න බැරි තරමට අපි යාලුවො. අපි දෙන්නම වූ ෂූ කරා කිව්වොත් සමහර අය පුදුම වෙයි. මම ගැන නෙවෙයි යෙස්මින් ගැන. :D


ඒ දවස් වලත් හැමදාම අපි හීන ගැන කතා කරා. එයා ගොඩාක් ආස උනේ ඩොක්ටර් කෙනෙක්ට. ඒක එයාගෙ ලස්සනම ලස්සන හීනයක්. (මම නම් හැමදාමත් හිත ගිය තැන මාලිගාව කියලා හිතපු කෙනෙක් නේ. සඳුදාත් මම මගේ කැම්පස් එකේ හොඳම යාලුවා අනූ ගෙන් බැනුම් ඇහුවා හිත ගිය තැන මාළිගාව කියන්න ගිහින්.) ඒත් අද එයා විවාහ වෙලා තියෙන්නෙ ඩොක්ටර් කෙනෙක් නොවුනත් ගොඩක් ආදරෙන් එයාව රැක බලාගන්න හොඳ කෙනෙක් එයාට ලැබිලා ඇති.


අපේ යාලුවො හැමෝගෙන්ම විතරක් නෙවෙයි මගේ ජීවිත කාලෙටම දැකපු ලස්සනම ලස්සන ඇඟිළි තිබුනෙ යෙස්මින්ට. හරියටම චිත්‍රයක් වගේ. අපි හැමෝම මරතෝන්ඩි ගාපු ලස්සන දිග ඇඟිලි දිහා බැලුවෙ ලෝබකමට වගේ. ගැහැණිය කියන එකට ලස්සනම ලස්සන ප්‍රතිරූපය එයා. ලස්සන, ගතිගුණ, කතාබහ, හැම අතින්ම එයා පෙරදිග කාන්තාවක්.


යෙස්මින් කියන කෙනා ලබන්න තරම් ඒ අයියා ගොඩාක් වාසනාවන්තයි. එයාගෙ ඉදිරි ජීවිතය හැම අතින්ම සාර්ථක ලස්සනම ලස්සන ජීවිතයක් වෙන්න කියලා මම මුළු හදවතින්ම සුබ පතනවා. එයා වගේම ලස්සනම ලස්සන පුංචි දෝණියෙක් බලන්න දැන් නම් තියෙන්නෙ පුදුම ආසාවක්.(පුතෙක් උනත් කමක් නෑ... ඔන්න ඉස්සර වගේ ලැජ්ජාවෙන් හිනා වෙනවා එහෙම නෙවෙයි.) එයා ආන්ටි කියලා මටත් කතා කරාවිනේ එතකොට. :) ඔයාට සුබ අනාගතයක්...!!


ප.ලි- මේ පින්තූරෙ ඉන්නෙ යෙස්මින් නම් නෙවෙයි. එයාගෙ පින්තූරයක් වෙනුවට මට දාන්න පුලුවන් හොඳම පින්තූරෙ මේක විතරයි.


ප.ප.ලි- අපිත් ගෙදර හිටපු කාලෙ ඉවර වේගන වගෙයි එන්නෙ. :(

සිත බැඳි නෙතට...

දැහැනක නිසසල බව 
රැඳී ඇති ඔය වතට
දුටුවනම සසල වන 
දෙනෙත් ලැබුනේ කොහොම?
සුළඟටත් කලියෙන් ඇවිත්
හදත් විනිවද යවන
ඔය බැල්ම නුඹෙ නෙතට
දුන්නු දෙවිඳුන් කවුද?


මාත් වෙනස් වෙනවා..





මගේ ජීවිතේ අලුතෙන්ම පටන්ගන්නවා කියලා මම ආයිමත් හිතාගත්තා. අඬන්න ඕන දේටත් හිනාවෙන්න ඕන දේටත් හිනා වෙවී කිසිම බරක් පතලක් නැතුව ඉඳගෙන ප්‍රශ්ණ අමතක කරන්න හැදුවාට, ඉගන ගන්න එකත් අමතකම වෙලා යනවා කියලා මට දැනෙන්නෙ පටන් ගත්තා. ඉස්කෝලෙ යන කාලෙ ටිකක් විතර මීටරයක් කියලා කියන්න පුලුවන් තත්වෙක හිටපු මට මොනවා වෙනවද කියලා ආයිමත් දැනෙන්නෙ පටන් ගත්තා. ඊයෙ මම සටහන් හොයාගත්තෙ ඒ නිසාමයි.



පුංචි කාලෙ මාව අම්මාගෙ ඉස්කෝලෙට වඩාගෙන ගිහින් මේසෙ උඩ තියාගෙන නයිස් බිස්කට් කිරි කෝප්පෙක පොඟවලා කවපු හැටි මතක් උනා. ඉස්සර මට අම්මා බැන්නාම තරහ වෙලා ඇඳට යනවා. ටික වෙලාවකින් අම්මා ඇවිත් මාව ලඟට අරන් ආදරෙන් කතා කරලා වඩාගෙන එක්කගෙන යනවා. උසස් පෙළ කරන කාලෙ වෙනකන්ම එහෙමයි. වඩාගන්න බැරිඋනාට මගේ අතින් අල්ලලා ඇඳෙන් නැගිට්ටවාගෙන එක්කන් යනවා. අම්මා තරහා උනාමත් ඉස්සර මම අම්මා ලඟට ගිහින් "අම්මා මාත් එක්ක තරහද?" කියලා අහනවා. අදටත් හැමදාම උදේට අම්මා හරි තාත්තා හරි, කිරි කෝප්පෙ ඇඳ ලඟට ගෙනැත් දෙනවා. ඒත් මම ගොඩක් නපුරු උනා. අම්මාගෙන් තරහද අහන්න කියලා හිත කියත්දි ඒක අහගන්න බැරුව අම්මා එක්ක කතා නොකර ඉන්න පටන් ගත්තා. මට ඒ හැමදේම ඊයෙ මතක් උනා.


මම උසස් පෙළට විද්‍යා විෂයන් වලට පන්ති යන්න පටන් ගත්තෙ ප්‍රථිපල ආවාටත් පස්සෙ. ඒ අම්මලාගෙ ඕනකමට. අවුරුද්දක් විද්‍යා විශයන් කරලා කලා විෂය ධාරාවට මාරු උනේ ගොඩක් අමාරුවෙන්. ඒත් කිසිම අපහසුවක් නැතුව අවුරුද්දකින් ඉගනගෙන උනත් විභාගෙට ලියලා විශ්ව විද්‍යාලයකට එන්න සුදුසුකම් ලැබුවා. මම පාඩම් කරෙත් මාස 3ක් විතර. ඒක නම් මගේ වාසනාවක්ම තමයි.  


අම්මා මාව ගොඩාක් පරෙස්සම් කරා. අදටත් එහෙමයි. සමහරවිට ඒ මට ගොඩක් අපල තියනවා කියලා කියන නිසා වෙන්න ඇති. මට කිසිම නිදහසක් නෑවගේ මට දැනෙන්න පටන් ගත්තෙ කැම්පස් යන්න ඉත්දි. අම්මා හැමදාමත් මට කිව්වෙ ඉස්කෝලෙ යන කාලෙ කාත් එක්කවත් යාලුවෙන්න එපා කියලා. අම්මා මම යන එන හැමතැනකටම ආවා. ඒ වගේම මම කාත් එක්කවත් යාලු උනෙත් නෑ. අම්මා මාත් එක්ක ආපු එක කරදරයක් විදිහට දැනුනෙත් නෑ. ඒත් ඉස්කෝලෙ ගිහින් ඉවර උනාට පස්සෙ මගේ නිදහස මම ඉල්ලුවා. එතකොටත් පරණ විදිහටම මාව පරෙස්සම් කරන්න හදනවා කියලා දැනෙත්දි මට ඇති උනේ තරහක්.


මම මගේ ජීවිතේට තනියම ප්‍රතිපත්ති හදාගත්ත කෙනෙක්. ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනකම් කිසිම කෙනෙක් එක්ක යාලු වෙන්නෙ නෑ කියලා, බීච් එකකට ෆිල්ම් හෝල් එකකට කොල්ලෙක් එක්ක යන්නෙ නෑ කියලා, ඒවගේම බස් එකක ගියත් ගොඩක් විනීතව යනව කියලා, ඒ වගේ ගොඩක් සීමාවල් මම මටම දාගත්තා. ඒ වගේම කිසිම දවසක අම්මලාට බොරුවක් කරේ නෑ. මගේම සීමාවල් මට තියෙද්දි ඇයි අම්මලා තවත් මේ තරම් මාව පාලනය කරන්නෙ කියලා මට හිතුනා.


ඒ තරහා නිසාම මම ගොඩක් නපුරු උනා. මගේ හිත රිද්දා ගත්තා. ඒ නිසාම අම්මලාගෙත් හිත රිදුනා. හැමතිස්සෙම මම හිටියෙ තරහින්. මගේ නිදහස ඉල්ලලා මම ඇඬුවා. හැමතිස්සෙම මගේ උදාහරණය උනේ නංගි. ඒකට හේතුව මම නංගිගෙ වයසෙදි නොලබපු තරම් නිදහසක් එයා ලබන නිසා. හැබැයි මේ හැමදේම වෙත්දි හැමදාමත් අම්මාලා මාත් එක්ක ආවාට ගෙදර ඕනම තීරණයක් ගන්න අයිතිය මට නිකම්ම වගේ ලැබිලා තිබුනා. ගෙදර ඕනම කෙනෙක්ට අණ දෙන්න උනත් මට පුලුවන් වගේම මම කියන දෙයක් නොපිලිගත්තෙ නැති තරම්. මොකද හැමදෙයක්ම කියත්දි තර්කයක් එක්ක කියන්න මට පුලුවන් උන නිසා. ඒ වගේම හිතලා තීරණ ගන්න මට පුලුවන් කියලා අම්මලා විස්වාස කරා.


අද වෙත්දි කිසිම කෙනෙක් මට කිසිම දෙයක් කරන්න කියලාවත් එපා කියලාවත් බල කරන්නෙ නෑ. හැමදෙයක්ම හිතන අයිතිය මට තියනවා. ඒත් මාව ගොඩක් ආරක්ශා කරන්න හදනවා කියන එක අදටත් මට ගොඩක් දැනෙනවා. ඒත් මගේ හිතේ ගොඩක් දේවල් නිසා තිබුන තරහා අයින් කරන්න පටන් ගත්තා. දැන් මට දැනෙන්නෙ මට phone එකක් වත් ඕනෙ නෑ වගේ. මාව බාහිරට ඇදලා ගන්න පුලුවන් හැමදේකින්ම ගොඩක් දුරට මම දැන් ඈත් වෙලා. ඈත් වෙන්න පුලුවන් හැමදේකින්ම ඈත් වෙලා ආයිත් මම ඉගන ගන්නවා. ඒක විතරක්ම ජීවිතේ කරගන්නවා. හැමදෙයක්ම දිහා බලලා දැකලා සතුටු වෙනවා මිසක් ඒවා මගේ ජීවිතේ එක්ක සංසංදනය කරන්නෙ නෑ මීට පස්සෙ. කලකිරීම් එක්ක ජීවත් වෙනවාට වඩා හැම දේකින්ම ඈත් වෙන එක ලේසියි.

සිඟිතිත් ගිහින්... :'(


මගේ ජීවිතේට ආපු අය වගේම වෙන් වෙලා ගිය අයත් බොහොමයි. මගේ ජීවිතේ දුක සතුට පුංචි කාලෙදි මම කිව්වෙ ගෙදර හැදුණු සතෙකුට. ඒ අය කිසිම දේකට මට බනින්නෙ නෑ. හැමදේම ගොඩක් ආසාවෙන් අහගෙන ඉඳලා අහිංසක විදිහට හිනා වෙනවා වගෙයි මට දැනුණෙ හැමදාමත්. මගේ පුංචි සිඟිතිත් මේ වගේම මගේ ජීවිතේට ගොඩක් ලං උන කෙනෙක්. අදට එයා මේ ලෝකෙන් ගිහින් දවස් 5ක් වෙනවා. එයාගෙ අන්තිම හුස්ම ටික හුළඟට මුහු වෙන වෙලාවෙ මම හිටියෙ එයාගෙන් කිලෝ මීටර් දෙසිය පනහක් විතර ඈතින්. ලේසියෙන් කඳුලු වැටෙන්නෙ නැති ඇස් දෙකකුයි පුංචි දේකට පවා උණු වෙන හිතකුයි මට තියනවා කියලයි මට දැනෙන්නෙ. එත් මගේ ලඟ හැදුණ සත්තු වෙනුවෙන් කිසිම ලෝබ කමක් නැතුව මගෙ ඇස් දෙක කඳුලු දෙනවා.

අපේ ගෙදරට හා පැටවු එකතු උනේ පුදුම විදිහකට. සත්තු ඉන්න තැනක් දැක්කම මගේ ඇස් ඒ දිහාවට යන්නෙ මටත් කලින්. අපේ ගෙදර පුංචි සත්තු වත්තක් කියලා දන්න අය දන්නවා. මම දවසක් සත්තු විකුණන කඩේකට ගියේ කුකුල් පැටවු දෙන්නෙක් ගන්න හිතිලා. ඒත් තාත්තා එපා කියපු නිසා සුදු පුලුන් බෝල වගේ හා පැටවු දෙන්නෙකුත් අරන් මම ගෙදර ආවා. ඒත් ඒ දෙන්නම වැඩි දවසක් ජීවත් උනේ නෑ. එක හා පැටියෙක් මැරෙත්දි අනිත් පැටියාගෙ තනියට අපි ගෙනාපු පැටියා තමයි මේ සිඟිති. හැබැයි එයා සුදු හා පැටියෙක් නෙවෙයි. අළු පාටයි සුදු පාටයි මිශ්‍ර වුණු ඔලුව ගොඩක් ලොකු, අල්ලක් විතර හා පැටියෙක් එයා. සුදු හා පැටවු එක්ක බලත්දි එයා එච්චර ලස්සන නෑ. නපුරියෙක් වගේ එයා දිහා බල බල මම එයා ලස්සන නෑ කිව්වා. ඒත් මම එයාට ගොඩක් ආදරේ කරා. සුදු හා පැටවු ඉක්මනටම මැරුණා. ඊට පස්සෙ ආයිත් හාවො ගෙනාවෙ නැත්තෙ මේ පැටියත් මැරේවි කියලා හිතිලා.
(මේ මුලින්ම හිටපු හා පැටවු. බොනී, ජෙනී)











ඒත් ටිකෙන් ටික මගේ සිඟිති ලොකු උනා. පුංචි කමට ගේ පුරාම දිව්වා. මුළු ගේම එයාගෙ වගෙයි එයා හිතුවෙ. එයාගෙ කූඩුව පවා තිබුණෙ ගේ ඇතුලෙ. ඔහොම ඉත්දි දවසක් අපේ චූටි (අපේ ගෙදර බැල්ලි පැන්චි )ගේ ඇතුලට ඇවිත් සිඟිතිව ඇල්ලුවා. අපේ අයියා කෙනෙක් එයාගෙ කට අරවලා ඉක්මනටම ගත්ත නිසා සිඟිති මරු කටෙන් පළවෙනි වතාවට ගැලවුණා. ඊට මාස 6කට විතර පස්සෙ ආයිමත් චූටියි ජිමීයි දෙන්නාම එකතු වෙලා සිඟිතිව ඇල්ලුවා. එයා දොර ලඟට වෙලා එළිය බලන් හිටපු වෙලාවක. අපේ සද්දෙට කටින් අත ඇරියත් එයාට ඇවිදින්න බැරි උන නිසා ඉක්මනටම දොස්තර කෙනෙක් හොයාගෙන මාතර පුරා ඇවිද්දා. ඒ වෙලාවෙ උදවු කරපු මගේ යාලුවාටත් ගොඩාක් පින්. බෙහෙත් දි දී මාස 2ක් විතර ඉන්නකොට ටිකෙන් ටික ආයිත් එයා වෙනදා වගේම ඇවිදින්න පටන් ගත්තා.


ඒත් එයා ඒ වෙත්දි ගොඩක්ම ආස කරේ එකම තැනකට වෙලා පාඩුවෙ ඉන්න. හැබැයි වෙලාවකට අපේ නොමී(පූස් පැටියා ) එයාව සෙල්ලමට ඇදලා ගත්තා. එ දෙනාගෙ සෙල්ලම් නම් බලන් ඉන්නත් ආසයි. මේ වෙත්දි එයාට අවුරුදු එකහමාරකට වැඩියි. කිරි අම්මාගෙ මළ ගෙදරින් පස්සෙ මට ගෙදර යන්න ලැබුනෙ මාසෙකට විතර පස්සෙ. ගෙදර යත්දිම නංගි කිවුවෙ "අක්කෙ බින්දු නැති උනා" කියලා. (මගේ සිඟිතිට නංගි කතා කරන්නෙ බින්දු කියලා.) ඒත් මම දන්නවා ඒ මම රවට්ටන්න කියලා. කාමරයක ඇඳක් ලඟ හිටපු බින්දු වඩාගෙන මම ආවෙ නංගිටත් හිනා වෙවී. එදා මට නිකමටවත් හිතුනෙ නෑ එයාට ජීවත් වෙන්න තව තියෙන්නෙ දවස් 5යි කියලා


ආපහු කොළඹට ආපු මම අඟහරුවාදා උදේම ගමේ ගියේ උපාසක දානයක් 17 වෙනිදා තියෙන නිසා. එදා රෑ තාත්තා මගේ ලඟට ආවෙ ගෙදර මළ ගෙයක් වෙලා කියාගෙන. මට හිතාගන්න බැරි උනා ඒ කවුද කියලා. මගේ සිඟිති එවෙලෙ මේ ලෝකෙන් ගියාලු. අපේ අම්මා එයාට බත් දෙත්දි එයා අඬලා. නංගි එයාව වඩාගත්තාලු. ඊට ටිකකට පස්සෙ ආයිත් නංගි සිඟිතිව හොයත්දි එයා ඇඳ යටලු. "බින්දු එන්න. අක්කානේ ඇවිත් ඉන්නෙ" කිවුවාම එයා ඇඳ යටින් නංගිගෙ කකුල් දෙක ගාවට ඇවිත් ඇඬුවාලු. ඒ වෙලාවෙ නංගි එයාව වඩාගත්දිම එයා මැරුණලු. එයාගෙ පුංචි නහයෙන්  පිටවුණු අන්තිම හුස්ම ටික නංගිගෙ අතට දැණුනාලු. ඒත් එයාව ගෙදරට එක්කන් ආපු මම එයා යන දවසෙ එයගෙන් ගොඩක් ඈත. සමහරවිට එයා මැරුණට පස්සෙ මගේ ලඟටත් ඇවිත් බලලා යන්න ඇති. එයා හොඳ ආත්මයක් ලබාවි. ඒත් මේ ලෝකෙ තවත් කොහේ හරි එයා ඉපදෙනවා නම් එයා මටම හමුවෙන්න ඕන. හැම ආත්මයකදිම.


සිඟිති ජීවත් වෙලා ඉත්දි.



මේ එයා මේ ලෝකෙන් ගියාට පස්සෙ ගත්ත ෆොටෝ.

 

කියවන්න එකතුවෙන්න..