Buscar

දූවිලි සුවඳ...



මම ආසම සුවඳ මොකක්ද කියලා මතක් කරත්දි මට මුලින්ම මතක් වෙන්නෙ දූවිලි සුවඳ.. පුංචි කාලෙ ඉඳන්ම පායලා පායලා පුංචි පොදක් වැටෙද්දි දැනෙන  නැවුම් සුවඳට මම ගොඩක් ආදරේ කරා. මම ඒ සුවඳ ඉවකරේ පුංචි බළල් පැටියෙක් වගේ. ඒ සුවඳ ජීවිතේම අලුත් කරනවා වගෙයි මට දැනෙන්නෙ. ඒ වගේමයි ඉස්සර මම පුංචිම කාලෙ අපේ වත්තටත් හරක් එනවා.. දැන් නම් හරකෙක් දකින්නවත් නෑ. හරක් ඇවිත් තණකොළ කත්දි ගෙයි ඉඳන් උනත් කියන්න පුලුවන්. එතකොටත් එන්නෙ අමුතුම සුවඳක්. ඒ සුවඳ හරක්ගෙන් එන සුවඳක්ද තණකොල පොඩි වෙත්දි එන සුවඳක්ද මන්ද. ඒත් ඒ සුවඳ එන්නෙ හරක් ඉත්දි විතරයි. ඒ සුවඳටත් මම හරි ආසයි. පුංචි කාලෙ ඒ සුවඳ එනකොට චක්කා පැටවු ඇවිත් කියලා ගේ ඇතුලෙ ඉඳන් මම මිදුලට ගිහින් ඒ සුවඳ එන්නෙ කොහෙන්ද හොයනවා. මට තාමත් මතකයි අපේ වත්තට එන හරකුන්ට මම මොනවා හරි කන්න දෙනවා. උන් ලඟට ගිහින් අතගානවා. 



මම කවදාවත් මොන්ටිසෝරි ගිහින් නෑ. මම හිතන්නෙ අපේ අම්මා ගත්ත හොඳම තීරණේ ඒක වෙන්න ඇති. ඒ නිසාම මට අම්මලාගාව හුරතල් වෙවී ගොඩක් දවස් ඉන්න ලැබුණා. මට හැමදේම ඉගැන්නුවෙ අම්මා. ගුරුවරියක් උන අපේ අම්මා මාව ඉස්කෝලෙට එක්කන් ගිහින් මේසෙ උඩ තියාගෙන ළමයින්ට උගන්වනවා. අම්මාට වෙනම කාමරයක් තිබුණ නිසා ඒක කාටවත් කරදරයක් උනේ නෑ. අම්මා හවසට හැමදාම මට ඉංග්‍රීසි උගන්නනවා. කතා කියලා දෙනවා. ඒත් අම්මාට ඉක්මනට තරහා යනවා. මම වැරැද්දුවාම අම්මා ගහනවා. ඒත් ඊට පස්සෙ මාව වඩාගෙන ඉඹිනවා. මොනවා හරි කඩෙන් ගෙනැත් දෙනවා. මම ඉස්කෝලෙ 1 වසරට ඇතුල් කරත්දි මට හොඳට සිංහල, ඉංග්‍රීසි හෝඩිය ලියන්න පුලුවන්. ගණන් හදන්නත් පුලුවන්. කවදාවත් ඉස්කෝලෙදි මම ඉන්න බෑ කියලා අඬලා නෑ. අම්මා උගන්වපු විශයෙ ගොඩක් දේවල් මම 2 වසර වෙත්දි කටපාඩමෙන් කිව්වා. (අම්මා ඉගැන්නුවෙ 6න් ඉහල පන්තිවලට හොඳේ..)


මාව ගොඩක් දවසට ඉස්කෝලෙ ඇරිලා එක්කන් ආවෙ තාත්තා. බස් එකෙන් බැහැලා හන්දියෙ කඩෙන් තාත්තා ෆැන්ටා එකක් අරන් දෙනවා. ඒක බෝතලේට දාගෙන බි බී මම ගෙදර එන්නෙ. ඒ නිසාම වෙන්න ඇති තාමත් මම මොනවා හරි බොන්න කඩේකට ගියොත් ඉල්ලන්නෙ ෆැන්ටා. ඒ රස මගේ නහර වලට පවා ඇතුල් වෙලා ඇති. තාත්තා ඉක්මනට අඩි තියලා යත්දි මම තාත්තා පස්සෙන් යන්නෙ දුවගෙන වගේ. ඒ කාලෙ අමුතුම ලස්සනක් තියනවා.


අපේ ගෙදර සෙල්ලම් බඩු ගොඩක් තියනවා එකතු කරපුවා. දැන් නම් වෙනමම පෙට්ටිවල දාලා අරන් තියලා තියෙන්නෙ. වීසි කරන්න දුකට. ඒත් මම බෝනික්කන්ට, කාර් වලට ආස කරේ නෑ. සත්තු ඉන්න සෙල්ලම් බඩු වලට මම ගොඩක් ආසයි. මට අම්මා ගෙනැත් දීලා තිබුනා සත්තු වත්තක් හදන සෙට් එකක්. ඒකට මම ගොඩක් ආස කරා. ටීච කෙනෙක් විදිහට ඇඳගෙන සෙල්ලම් ගෙවල් දාන්න මම ආස කරේ. ශිෂ්‍යත්වෙටවත් අම්මා පන්ති වලට යවන්න කැමති උනේ නෑ. අම්මාගෙ ඉස්කෝලෙ මිස් කෙනෙක්ගෙ පන්තියකට මාසයක් විතර ගියත් මම ඒකෙනුත් නැවතුණා. ඒත් සතර පොත්, ප්‍රශ්ණපත්‍ර ගොඩක් ඒවටත් එක්ක අම්මා මට කරන්න දුන්නා. මාත් ශිෂ්‍යත්වෙ පාස් උනා. ඒත් වෙන ඉස්කෝලෙකට යවන්න අම්මා කැමති උනේ නෑ. 


ඒ කොහොම උනත් පුංචි කාලෙ ඉඳන් දුක තේරුම් ගන්න මට ලැබුණා. අඩාගෙන හිටපු දවස් අනන්තයි. දේවාල ගානෙ හැමදාමත් අම්මා එක්ක ගියා. අම්මා එක්ක ඇඬුවා. අම්මාගෙ හිත හැදුවා. පුංචිම පුංචි කෙල්ලෙක් විදිහට මම ජීවිතේ තේරුම් ගත්තා. මටම පුදුමයි කොහොමද මම ඒ තරම් හිත හයිය කරගෙන හිටියෙ කියලා. 6 වසරෙන් පස්සෙ පටන් ගත්ත කාලෙ ඊටත් වඩා නපුරුයි. අපේ අයියා එක්ක තිබුණේ ලොකු තරහක්. එයාට අපේ තාත්තා ආදරෙන් සළකත්දි මට ඉරිසියාවක් තිබුණා. එයා අපේ ගෙදර හැදුණාට අපේ අම්මාගෙ තාත්තාගෙ දරුවෙක්ට වගෙයි එයාට සැළකුවෙ. ඒ තරහාට ලොකුම හේතුව ඒකම නෙවෙයි. අපේ ගෙදර ප්‍රශ්ණ ඇති වෙත්දි එයා පාඩුවෙ බලන් හිටියා. ඉඩම් නිසා සහෝදරයො තරහාකාරයො වගේ වැඩ කරත්දි පුංචි මම කෑ ගැහුවෙ අනේ අපේ තාත්තට මෙහෙට වෙලා ඉන්න කියන්න කියලා. එයා නිහඬව හැමදාමත් ඉත්දි මම එයාට වෛර කරා.


උදේ පාන්දර පොල්කිච්චො දකින්න හොඳ නෑලු. දුකක් එනවලු. හැමදාම බයත් එක්ක ජීවත් උන මගේ හිත තවත් බය වෙනවා පොල්කිච්චො දැකලා. හවස 5 පහුවෙත්දි මම හිටියෙ දෙවියන්ට කිය කිය. ඒ බය වචන වලින් කියන්න මට බෑ. මහා ලොකු ප්‍රශ්ණ කන්දරාවක් එක්ක ජීවත් වෙත්දි තාත්තා ගැන මට දැනුණෙ ලොකු බයක්. මම හැමදාම ඉස්කෝලෙ යත්දි  තාත්තාට දණ ගහලා වැඳලා එක ඉල්ලීමක් හැමදාම ඉල්ලුවා. තාත්තා මට ගොඩක් ආදරේ කරා හැමදාම. දැන් නම් හැමදේම වෙනස් වෙලා. අපේ ජීවිත ගලාගෙන යනවා. ඉඩම් බෙදුවා. කැමති අය විකුණුවා. තාමත් නඩු කියනවා. ඒත් කරදරයක් නැතුව අපි අපේ ගෙදර ඉන්නවා. ඒත් තාමත් පොල්කිච්චො දකිත්දි මගේ හිත ගැස්සෙනවා. මදුරුවෙක්වත් මරන්නෙ නැති මම මේ ළඟක් වෙනකම්ම පොල්කිච්චන්ව නම් පැන්නුවා.


ඒ ලෙවෙල් කාලෙ වෙත්දි පවුල් අතරෙ කිසිම ප්‍රශ්ණයක් නොතිබුණ තරම්. මොන ප්‍රශ්ණෙ ආවත් අම්මයි තාත්තයි ලොකු කැපවීමකින් අපිට ඉගැන්නුවා. ශිෂ්‍යත්වෙටත් එක්ක හරි යන්න 6 වසරෙන් පස්සෙ හැමදාම හවස් වරු ටියුෂන් වලින් පිරුණා. තරඟයත් එක්ක එහෙම නොකරත් බෑ.. A/L වෙත්දි පැය ගානට සල්ලි දීලා ගුරුවරු ගෙන්නුවා. කලා විෂයන් වලින් අවුරුද්දකින් කැම්පස් එවන්න මට වඩා අම්මා මහන්සි උනා. සල්ලි දේපළ වලට වඩා උගන්වන එක වටිනවා කියලයි හැමදාමත් අම්මා කිව්වෙ. හැමදේකින්ම මම ගොඩක් අහිංසක උනා, පරාර්ථකාමී උනා, අවංක උනා, තාර්කික උනා... ඒ අම්මා මට ඉතුරු කරපු දායාද. 


ආපස්සට හැරිලා බලත්දි මට මං ගැන සතුටුයි. මම ජීවිතේට මුහුණ දෙන්න පටන් ගත්තෙ 2, 3 වසරෙ ඉඳන්. හැමෝගෙම හිත් හදන්න එදා ඉඳන්ම මම කැප උනා. දැන් අපේ අයියා සිවිල් ඉංජිනේරුවරයෙක් විදිහට වැඩ කරනවා. දැන් අවුරුදු 3ක චූටි දුවෙකුත් ඉන්නවා. එයා එක්ක දැන් මගේ කිසිම තරහක් නෑ. ඒත් අදටත් මට මතක නෑ පුංචිම කාලෙන් පස්සෙ මම සෙල්ලම් කරපු දවසක්. බයෙන් හිත පුරෝගෙන කඳුලු වලින් ඇස් පුරෝගෙන ඉක්මනටම දවස ගෙවෙනකම් බලන් හිටපු කෙල්ලෙක් මිසක් සෙල්ලම් කරන කෙල්ලෙක් මට මතක් වෙන්නෙ නෑ.ඒ නිසා වෙන්න ඇති අදටත් ගමේ ගියාම මගේ චූටි මල්ලියි, අපේ නංගිලයි මල්ලිලයි එක්ක එකට හැංගිමුත්තම් සෙල්ලම් කරේ. සෙල්ලම් ගෙවල් දැම්මෙ. ඒත් ඒ හැමදේකමත් අමුතුම ලස්සනක් තියනවා. කොහොම උනත් පොද වැස්සක් එක්ක දැනෙන දූවිලි සුවඳ ජීවිතේට නැවුම් බවක් ගේනවා. 

9 comments:

ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර

ලස්සනයි..මොකද මේ ස්වයං ලිඛිත චරිතාපදානේ ලියන්න පිවිසුමක් ගන්නවද

හංසි

ගොඩක් ස්තූතියි කියන්න ඕන කමෙන්ට් එකට. ඔයාගෙ කමෙන්ට් එකක් මේ බ්ලොග් එකේ දකින දෙවනි වතාව වෙන්න ඕන. ජීවිත කතාවෙන් ටිකක් නම් තමයි. දූවිලි සුවඳ කියලා පටන් ගත්තෙ මේ ගැන ලියන්න නෙවෙයි. ලියන්න ගියේ එකක් ලියවුනේ වෙන එකක්. එහෙමම දැම්මා. හිතිලා කවදා හරි ආයිත් ලියවුනොත් මිසක් මීට වඩා ලියන්නෙ නම් නෑ.

widanarala

ම්ම්ම්ම් ... මිනිස්සු කවදා හරි හිනා වෙනවා...

තනි අලියා

ලස්සන කතාවක් නේ! :D

මධුරංග

ඒ කාලේ මතක් කරලා සතුටු වෙන්න පුලුවන් නම් ඒක ගොඩක්ම වටිනවා. එහෙම සතුටු වෙන්න ලැබෙන්නේ ළමා කාලය සතුටින් ගත කරපු කෙනෙක්ට විතරයි. ඒ අතින් නඟා වසනාවන්තයි.

ඔය දූවිලි සුවඳට මාත් ආසයි. ඕකට නැවුම් සුවඳ කියලත් කියනවා. ගොවියනුත් ආසයි ඒ සුවඳට. මොකද දූවිලි පොලවට වැස්ස වැටෙනකොට නේ ඔය සුවඳ එන්නේ.

වර්ෂා..

sweet..

Dinesh

සොදුරු මතකයන් ටිකක්..
ඒක නෙමෙයි හංසී "සරුංගලය" කතාවට මොකද උනේ???

සරත් ලංකාප්‍රිය

රත් උන පොලෝ අම්මගේ මුනට පලවෙනි වතුර බින්දු වැටෙනකොට එන්නේ දුවිලි සුවඳ නෙවෙයි දරුවෝ.. ඒක නැවුම් සුවඳ.. පොලෝ අම්මගේ නැවුම් සුවඳ.. මමත් බොහොම ආසයි ඒ සුවඳට..අම්මගේ සුවඳට විතරයි දෙවෙනි..

N N K

ජිවිතේ කියන්නේ එක එක කෙනාට එක එක විදියට අත්දැකීම ගෙනත් දෙන දෙයක්. ඒ ඒ අත්දැකීම් නිසා එකකෙඅ කෙනා එක එක විදියේ පන්නරයන් ලබනවා. ඒ ඒ දේවල් අනාගතේදී අපිට ප්‍රොයෝජනවත් වෙනවා. ඒ නිසා හොදම දේ ඒ ඒ වෙලාවේ ඒ ඒ දේවල් වලට මුහුණ දීපු විදිය වෙච්ච අඩුපාඩු මතක තියාගන්න එක විතරයි හැබැයි ඒ ඒ දේවල් කරපු කියපු ය අමතක කරනම් වැඩිය හොදයි. අනිත් එක තමයි අම්ම තාත්ත කරපු කියපු දීපු දේවල් වල අපිට ජිවිත කාලෙට අමතක කරන්න බෑ අමතක වෙන්නේ නෑ සමහර දේවල් පුරුද්දක් වෙලා ජිවිත කළෙම අපිත් එක්ක ජිවත් වෙනවා... හොදයි

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..