Buscar

පුංචි බටිත්තී...



සඳ එළියට තරු එළියට
හොරෙන් ඇවිත් මගෙ තනියට
හීන ගෙනැත් හිත පුරවන
පුංචි බටිත්තී

මල් සුවඳට පෙම් බැඳගෙන
මද සුළඟට ගීත කියන
ආකාසෙම මගේ කියන
බොළඳ සිතැත්තී

මහ පොළවට මහ සයුරට
දුර අහසට දිවුරුම් දෙන
නුඹ නම් මට අරුමයක්ය 
පුංචි කිරිල්ලී..

ඇහෙනවාද සඳ එළිය???



පුංචි සමනළියක්...
ඉර එළිය හොයාගෙන යත්දි
හමුවුණා...
හඳ එළිය.

අහම්බෙන්ම ඒ හඳ එළියෙ නැහැවෙත්දි
පිච්චිලා යන ඉර එළියට වඩා 
හඳ එළියට ආදරය කළා.
ඉතින්...
දැන් ඒ හඳ එළිය මුළු ලෝකෙම කරගෙන
ඉගිල්ලෙනවාලු මුළු අහස පුරාවට.
මියැදෙන්න කලින් නම් බැස යන්න එපාලු
ඒ අහසින්...
ඇහෙනවාද හඳ එළිය???

සුබ උපන් දිනයක්...!!!






රෑ අහසෙ තියන 
තරුවක් දිහා බලාගෙන
හීන මවන ඔයත්
ලස්සනම ලස්සන තරුවක්..
ආකාසෙම තියන 
හඳටවත් ලං වෙන්න බැරි
ලස්සනම තරුවක්.
ඉතින් මම කොහොමද ලං වෙන්නෙ??
ඒ හින්දා මම මේ පොළවෙ 
වැලි වලින් අඳින්නම්...
ඔයාට සුබ උපන් දිනයක්...!!!

එදා ඔබ.. අද මම...



ඔයා
මහා අයිස් කන්දක්
දිය කරලා වතුර බින්දුවක් ගන්න හදත්දි
තවතවත් මිදෙන්න හදන 
මහා අයිස් කන්දක් 
මම
ඒ අයිස් දිය කරලා
වතුර ටිකක් අත් දෙකට ගන්න 
බලාගෙන හිටියා

දැන්
මුලු උණුහුමම බින්දුවක්වත් ඉතිරි නොවෙන්නම
නැති වෙලා ගිහින්..

එක පාරටම මහා වතුර කන්දරාවක්
අත්දෙකම පිරෙන්න ගලාගෙන ඇවිත්
ඒත්... 
ගලාගෙන යන වතුර වල 
සීතලවත් නොදැනෙන්නම 
මම
සීතලෙන්ම මිදිලා ගිහින්. 

මගේ ආදරේ අන්තිම හුස්ම..



ඔයා අපේ හිත් වලට සතුට අරගෙන ආවා. අපේ මූණවල් හිනාවෙන් පිරෙවුවා. පුංචි පුලුන් බෝලයක් වගේ ඔයාව මම අත්දෙකෙන් අරන් ඉඹින්නෙ මට ඔයාව කොච්චර වටිනවද කියන්න වචන නැති නිසා.. ඔයා ඇඳ උඩ නිදාගෙන ඉත්දි ඔයා ලඟටම ඔලුව තියාගෙන මම ඉන්නෙ ඔයාට තියන ආදරේ වචන වලින් කියන්න බැරි නිසා.. ඔයා මගේ ළඟට ඇවිත් තාමත්  මාස 2ක් ඇති. ඒත් මුලු ජීවිතේම මාත් එක්ක හිටපු කෙනෙක් මාව දාලා ගියා වගෙයි.. ඒ නිසාමයි මම තාමත් උණුසුම නොගිය ඔයාව ඉඹලා ඇඬුවෙ. කවදාවත් නැතුව අද ඔයා තනියම මගේ ඇඳට නැගලා තිබුණා. ඒ වෙලාවෙ ගොඩක් ආදරෙන් ඔයා මගේ උකුළට අරන් තියාගෙන හිටියෙ. ඔයා මගේ කාමරෙන් එළියට යන්නෙ මාත් එක්කමයි. අද දවල් මතකද ඔය පුංචි කන් අතරෙ කහපාට මල් ගහලා හැඩ බැලුවා. මට නිකමටවත් හිතුණෙ නෑ ඔයා මෙහෙම යාවි කියලා. ඔයාගෙ සද්දෙට මම මෙතන ඉඳන් කෑ ගහගෙන දිව්වට කාමරේ දොර අල්ලන් මම නැවතුණා.. කියන්න වචන නෑ සුදු මැණිකෙ. ඔයා මට තිබුණ එකම සිහිවටනය. මට ලැබුණ වටිනාම තෑග්ග. හරියටම ඔයාව ඇස් දෙකක් වගේම පරෙස්සම් කරා පැටියො.. කටින් කියලා පොරොන්දු නොවුණාට හිතින් හැමදාමත් ඒ පොරොන්දුව රැක්කා.. 





ඒත් ඔයාව එක්කන් යන්න ඇවිත් මගේ ඇස් දෙක මොහොතකට අන්ධ කරලා දාලා මගේ පැටියාව අරන් ගියා.. හුස්ම ගියපු පුළුන් ගොඩක් මට ඉතුරු කරලා ඔයාව අරන් ගියා. ඔයා කැමැත්තෙන්ද යන්නෙ?? ඔයාගෙ පුංචි ඇස් දෙක ඇරිලා. මට පේන්නෙම මං දිහා බලනවා වගේ. ඔයාගෙ පුංචි අතක් අල්ලන් මම ඇඬුවා. මගේ පැටියා නැතුව කාමරේම පාලුවෙයි. නිල්පාට වට්ටියෙන් ඔයාව වහලා නිදාගන්න ආවාම බිම පහුරු ගානවා ඇහෙන්නෙ නැති වෙයි අද.. සමහර දවසට ඔයා බිම පහුරු ගාත්දි මම ආයිත් ඇඳෙන් නැගිටලා ඇවිත් ඔයාව වඩාගෙන ඉඳලා තියනවා. කොහෙ හරි යත්දි මගේ සුදු මැණිකෙව හොඳට බලාගන්න කියලා යන්න ඔයා නැති වෙයි.. මට ඉන්නෙ ඔයා විතරනෙ කියලා ඉඹින්න.. උම්මා එකක් ඉල්ලගන්න මගේ පැටියා නැති වෙයි. ඔයා ගැන මතකය හැම තැනම පිරිලා... කියන්න දාහක් දේවල් තියනවා. හැමෝගෙම හිත දිනාගෙන හැමෝම සතුටු කරපු මගේ පණ. ඔයා මට ලැබුණු දවසෙ ඉඳන් මම ඔයාට ආදරේ කරේ මගේ පණ වගේ. ඔයාගෙ ජීවිතේ වෙනුවට මගේ ජීවිත කාලෙ අඩුවුණා නම් මම කැමතියි.. ඒ පුලුවන් තරම් කල් ඔයා මාත් එක්කම තියාගන්න ඕන නිසා. ඒ තරමට ඔයාව මට වටින නිසා.. කමක් නෑ ඔයා යන්න. මගේ වටිනාම තෑග්ග අරන් ඔයා යන්න. ආයිත් කිසිම දවසක ඔයා එන්නෙ නෑ.. හැමදේකම අන්තිම හුස්ම ඔයා අරන් ගියා. හැමදේකම අන්තිම හුස්ම ඉතුරු වෙලා තිබුණෙ ඔයා ගාව. ඒ හුස්මත් අරන් ඔයා ගිහින්. මට ඉන්නෙ ඔයා විතරයි කියලා හැමදාම කිව්වාට දැන් මම කියන්නෙ මට හිටියෙ ඔයා විතරයි කියලා....



අමාවකයි අද මල් පෙති හැඬුවා...



පිනි බිඳු තැවරුණ සුදුවන් මල් පෙති
සීතල හුළඟට හෙමිහිට සැලුණා

හිරිකඩ තැවරුණු පින්නක සීතල
මල් පෙති අද්දර ඔච්චම් කෙරුවා

සඳ එළි සැඟවුණ කළුවර අහසේ
තරු එළි රහසින් මල දෙස බැලුවා
මැදියම් සීතල දැනෙනා මොහොතේ
මුව සිප ගන්නට පහතට ඇදුණා

සඳ කැන් දහරේ සිසිල ලබන්නට
පෙරුම්පුරාගෙන බලාන හිටියා
ඉර නැග එන්නට මොහොතයි තව දැන්
අමාවකයි අද මල් පෙති හැඬුවා...


(මේ මම මාර්තු 19 මූණු පොතේ ලියපු කවියක්. නොදැකපු අයට බලන්නත් එක්කම ඔන්න බ්ලොග් එකට දැම්මා..)

මම ඉන්නෙ මෙතන...

ම්ම්ම්... හංසි ඉන්නෙ විලකනේ.. ඉතින් කවදාට හරි මට මතක් වෙන්නත් එක්ක, යාලුවොන්ට එහෙම පෙන්නන්නත් එක්ක ඔන්න හංසි ඉන්න විලේ ෆොටෝ ටිකක් ගන්න හිතුණා.. ආස නම් බලන්නකො. 
මේ ඉන්නෙ මට 2006 දි අම්මා අරන් දීපු බෝනික්කෙකුයි, උපන්දිනේට තෑගි ලැබුණ ටෙඩී කෙනෙකුයි.



පිටිපස්සෙන් තියෙන්නෙ උපන්දින තෑග්ගක්..

මෙයත් වැඩිපුරම ඉන්නෙ මගේ කාමරේ..

මේ මගේ පොත් මේසෙ. පිළිවෙලක් නෑ කියන්න එපා..

මේ පින්තූරෙ මම ගත්තෙ BMICH එකේ පොත් ප්‍රදර්ශනෙන්.



ආසම නිල් පාටට නිසා හැමදේම නිල් පාටයි. 






මේ අපේ ගෙදර..  නංගි කියන්නෙ ඉදුණු පළතුරු ගෙඩියක්ලු.

මෙයා අපේ ගෙදරට අලුතෙන්ම එකතු උන අමුත්තෙක්



මෙතන තියන කබඩ් එකේ තමයි මම කියවපු පොත් ඔක්කොම තියෙන්නෙ

මෙයා මම ගත්තෙ වැවුරුකන්නලින්.. මටම ගැලපෙනවා..



 

කියවන්න එකතුවෙන්න..