Buscar

සිඟිතිත් ගිහින්... :'(


මගේ ජීවිතේට ආපු අය වගේම වෙන් වෙලා ගිය අයත් බොහොමයි. මගේ ජීවිතේ දුක සතුට පුංචි කාලෙදි මම කිව්වෙ ගෙදර හැදුණු සතෙකුට. ඒ අය කිසිම දේකට මට බනින්නෙ නෑ. හැමදේම ගොඩක් ආසාවෙන් අහගෙන ඉඳලා අහිංසක විදිහට හිනා වෙනවා වගෙයි මට දැනුණෙ හැමදාමත්. මගේ පුංචි සිඟිතිත් මේ වගේම මගේ ජීවිතේට ගොඩක් ලං උන කෙනෙක්. අදට එයා මේ ලෝකෙන් ගිහින් දවස් 5ක් වෙනවා. එයාගෙ අන්තිම හුස්ම ටික හුළඟට මුහු වෙන වෙලාවෙ මම හිටියෙ එයාගෙන් කිලෝ මීටර් දෙසිය පනහක් විතර ඈතින්. ලේසියෙන් කඳුලු වැටෙන්නෙ නැති ඇස් දෙකකුයි පුංචි දේකට පවා උණු වෙන හිතකුයි මට තියනවා කියලයි මට දැනෙන්නෙ. එත් මගේ ලඟ හැදුණ සත්තු වෙනුවෙන් කිසිම ලෝබ කමක් නැතුව මගෙ ඇස් දෙක කඳුලු දෙනවා.

අපේ ගෙදරට හා පැටවු එකතු උනේ පුදුම විදිහකට. සත්තු ඉන්න තැනක් දැක්කම මගේ ඇස් ඒ දිහාවට යන්නෙ මටත් කලින්. අපේ ගෙදර පුංචි සත්තු වත්තක් කියලා දන්න අය දන්නවා. මම දවසක් සත්තු විකුණන කඩේකට ගියේ කුකුල් පැටවු දෙන්නෙක් ගන්න හිතිලා. ඒත් තාත්තා එපා කියපු නිසා සුදු පුලුන් බෝල වගේ හා පැටවු දෙන්නෙකුත් අරන් මම ගෙදර ආවා. ඒත් ඒ දෙන්නම වැඩි දවසක් ජීවත් උනේ නෑ. එක හා පැටියෙක් මැරෙත්දි අනිත් පැටියාගෙ තනියට අපි ගෙනාපු පැටියා තමයි මේ සිඟිති. හැබැයි එයා සුදු හා පැටියෙක් නෙවෙයි. අළු පාටයි සුදු පාටයි මිශ්‍ර වුණු ඔලුව ගොඩක් ලොකු, අල්ලක් විතර හා පැටියෙක් එයා. සුදු හා පැටවු එක්ක බලත්දි එයා එච්චර ලස්සන නෑ. නපුරියෙක් වගේ එයා දිහා බල බල මම එයා ලස්සන නෑ කිව්වා. ඒත් මම එයාට ගොඩක් ආදරේ කරා. සුදු හා පැටවු ඉක්මනටම මැරුණා. ඊට පස්සෙ ආයිත් හාවො ගෙනාවෙ නැත්තෙ මේ පැටියත් මැරේවි කියලා හිතිලා.
(මේ මුලින්ම හිටපු හා පැටවු. බොනී, ජෙනී)











ඒත් ටිකෙන් ටික මගේ සිඟිති ලොකු උනා. පුංචි කමට ගේ පුරාම දිව්වා. මුළු ගේම එයාගෙ වගෙයි එයා හිතුවෙ. එයාගෙ කූඩුව පවා තිබුණෙ ගේ ඇතුලෙ. ඔහොම ඉත්දි දවසක් අපේ චූටි (අපේ ගෙදර බැල්ලි පැන්චි )ගේ ඇතුලට ඇවිත් සිඟිතිව ඇල්ලුවා. අපේ අයියා කෙනෙක් එයාගෙ කට අරවලා ඉක්මනටම ගත්ත නිසා සිඟිති මරු කටෙන් පළවෙනි වතාවට ගැලවුණා. ඊට මාස 6කට විතර පස්සෙ ආයිමත් චූටියි ජිමීයි දෙන්නාම එකතු වෙලා සිඟිතිව ඇල්ලුවා. එයා දොර ලඟට වෙලා එළිය බලන් හිටපු වෙලාවක. අපේ සද්දෙට කටින් අත ඇරියත් එයාට ඇවිදින්න බැරි උන නිසා ඉක්මනටම දොස්තර කෙනෙක් හොයාගෙන මාතර පුරා ඇවිද්දා. ඒ වෙලාවෙ උදවු කරපු මගේ යාලුවාටත් ගොඩාක් පින්. බෙහෙත් දි දී මාස 2ක් විතර ඉන්නකොට ටිකෙන් ටික ආයිත් එයා වෙනදා වගේම ඇවිදින්න පටන් ගත්තා.


ඒත් එයා ඒ වෙත්දි ගොඩක්ම ආස කරේ එකම තැනකට වෙලා පාඩුවෙ ඉන්න. හැබැයි වෙලාවකට අපේ නොමී(පූස් පැටියා ) එයාව සෙල්ලමට ඇදලා ගත්තා. එ දෙනාගෙ සෙල්ලම් නම් බලන් ඉන්නත් ආසයි. මේ වෙත්දි එයාට අවුරුදු එකහමාරකට වැඩියි. කිරි අම්මාගෙ මළ ගෙදරින් පස්සෙ මට ගෙදර යන්න ලැබුනෙ මාසෙකට විතර පස්සෙ. ගෙදර යත්දිම නංගි කිවුවෙ "අක්කෙ බින්දු නැති උනා" කියලා. (මගේ සිඟිතිට නංගි කතා කරන්නෙ බින්දු කියලා.) ඒත් මම දන්නවා ඒ මම රවට්ටන්න කියලා. කාමරයක ඇඳක් ලඟ හිටපු බින්දු වඩාගෙන මම ආවෙ නංගිටත් හිනා වෙවී. එදා මට නිකමටවත් හිතුනෙ නෑ එයාට ජීවත් වෙන්න තව තියෙන්නෙ දවස් 5යි කියලා


ආපහු කොළඹට ආපු මම අඟහරුවාදා උදේම ගමේ ගියේ උපාසක දානයක් 17 වෙනිදා තියෙන නිසා. එදා රෑ තාත්තා මගේ ලඟට ආවෙ ගෙදර මළ ගෙයක් වෙලා කියාගෙන. මට හිතාගන්න බැරි උනා ඒ කවුද කියලා. මගේ සිඟිති එවෙලෙ මේ ලෝකෙන් ගියාලු. අපේ අම්මා එයාට බත් දෙත්දි එයා අඬලා. නංගි එයාව වඩාගත්තාලු. ඊට ටිකකට පස්සෙ ආයිත් නංගි සිඟිතිව හොයත්දි එයා ඇඳ යටලු. "බින්දු එන්න. අක්කානේ ඇවිත් ඉන්නෙ" කිවුවාම එයා ඇඳ යටින් නංගිගෙ කකුල් දෙක ගාවට ඇවිත් ඇඬුවාලු. ඒ වෙලාවෙ නංගි එයාව වඩාගත්දිම එයා මැරුණලු. එයාගෙ පුංචි නහයෙන්  පිටවුණු අන්තිම හුස්ම ටික නංගිගෙ අතට දැණුනාලු. ඒත් එයාව ගෙදරට එක්කන් ආපු මම එයා යන දවසෙ එයගෙන් ගොඩක් ඈත. සමහරවිට එයා මැරුණට පස්සෙ මගේ ලඟටත් ඇවිත් බලලා යන්න ඇති. එයා හොඳ ආත්මයක් ලබාවි. ඒත් මේ ලෝකෙ තවත් කොහේ හරි එයා ඉපදෙනවා නම් එයා මටම හමුවෙන්න ඕන. හැම ආත්මයකදිම.


සිඟිති ජීවත් වෙලා ඉත්දි.



මේ එයා මේ ලෝකෙන් ගියාට පස්සෙ ගත්ත ෆොටෝ.

9 comments:

මධුරංග

පවු !!!!
ආදරයෙන් සලකපු කෙනෙක් නැති උනාම ඒක ගොඩක්ම දුක හිතෙනවා.

සරත් ලංකාප්‍රිය

මේ අහිංසකයින්ගේ ජීවිත හරිම දුර්වලයි. පොඩි දෙකටත් නැතිවෙන්න පුළුවන් තරම්.. හදනවා නම් ඒ දුකට මුණ දෙන්න සිද්ද වෙනවමයි..

$කුබුවි$

ම්ම්ම්ම් ගොඩක් දුක හිතෙනවා......
එත් මොනා කරන්නද?අපේ ජීවිතත් අනිත්‍ය කොට...:(

කඩේ හාමිනේ

හොඳ තැනක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අපිත් මැරෙන කොට මෙයාල ගැන මොනා කියන්නද

පිස්සු පුසා

පව්..ආදරෙන් හදන සතෙක් නැති උනාම දැනෙන දුක මමත් දන්නවා යාලුවා

හිම හංසි

පව්.මටත් හිටියා පූසො 3 දෙනෙකුයි බල්ලෙකුයි.පූසො නම් නෑති උනා.ඒත් තාම රෙක්ස් නම් ඉන්නවා.අක්කේ කොහෙන්ද ඔය හාවො ගත්තෙ?මාතර කොහොන්ද?මටත් ගන්න ඕන එක්කෙනෙක්

හංසි

සිඟිති නැති උන එක ගැන ගොඩක් දුකයි. ඒත් සතෙකුට අහුවෙලා දුක් විඳලා මැරෙනවාට වඩා, සත්තු මරාගෙන කන මිනිහෙකුට අහුවෙලා මැරෙනවාට වඩා මේ තරම් කල් හරි ජීවත් වෙලා මැරුන එක ගැන මට සතුටුයි. ඒත් තව මාස 6ක් වත් ජීවත් උනා නම් එයා ජීවත් උන කාලය ගැන මට සතුටු වෙන්න තිබුනා මීට වඩා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි මාත් එක්ක දුක බෙදාගත්තාට.
@හිම හංසි- මම සිඟිතිව ගත්තෙ පල්ලිමුල්ලෙ කඩේකින්. දැන් ඒ කඩේ වහලා. සුදු හාවො ගත්තෙ නූපෙ කඩෙන්. ඒ කඩේ නම් ගොඩක් වෙලාවට හාවො විකුණන්න ඉන්නවා. හැබැයි අරන් ගිහින් docter කෙනෙක්ට පෙන්නන්න. ලෙඩ තියන හාවොත් ඉන්නවා. උන් ගෙනියලා දවස් 4න් 5න් මැරෙනවා.

N N K

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියල බුදුධහමේත් කියල තියනවනේ. කොහොම හරි ඔයාට සතුටුවෙන්න පුළුවන් එයට ඔයා හොදින් සැලකුව නිසා. අනික එයාව ඔය කීපවතාවක්ම බෙරගත්තනේ. අපි ප්‍රර්ථනා කරමු එයාට හොද ආත්මයක් ලැබෙන්න කියල...

ප්‍රාර්ථනා

පව්, මම කවදාවත් සත්තු ඇති කරන්නේ නෑ ගෙදර, ඒ එයාල නැති වුනොත් මට ගොඩාක් දුක හිතෙන බව දන්න නිසා. එකම එක සැරයක් ලේන පැටියෙක් හදලා එයා දුවද්දි එයාව අල්ලන්න ගිහින් මගේ අතින් එයාගේ වලිගේ කැඩුනා. එයාට රිදෙන්න ඇති කිය කියා වලිගේ අතගගා මම මුළු දවසම ඇඬුවා.. ඊට පස්සෙන්දම පූසෙක්ට අහු වෙලා එයා මාව දාලා ගියා. එදා ඉදන් අද වෙනකන් මම කිසිම හුරතලෙක්ව ඇති කරලා නෑ,.

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..