Buscar

මාත් වෙනස් වෙනවා..





මගේ ජීවිතේ අලුතෙන්ම පටන්ගන්නවා කියලා මම ආයිමත් හිතාගත්තා. අඬන්න ඕන දේටත් හිනාවෙන්න ඕන දේටත් හිනා වෙවී කිසිම බරක් පතලක් නැතුව ඉඳගෙන ප්‍රශ්ණ අමතක කරන්න හැදුවාට, ඉගන ගන්න එකත් අමතකම වෙලා යනවා කියලා මට දැනෙන්නෙ පටන් ගත්තා. ඉස්කෝලෙ යන කාලෙ ටිකක් විතර මීටරයක් කියලා කියන්න පුලුවන් තත්වෙක හිටපු මට මොනවා වෙනවද කියලා ආයිමත් දැනෙන්නෙ පටන් ගත්තා. ඊයෙ මම සටහන් හොයාගත්තෙ ඒ නිසාමයි.



පුංචි කාලෙ මාව අම්මාගෙ ඉස්කෝලෙට වඩාගෙන ගිහින් මේසෙ උඩ තියාගෙන නයිස් බිස්කට් කිරි කෝප්පෙක පොඟවලා කවපු හැටි මතක් උනා. ඉස්සර මට අම්මා බැන්නාම තරහ වෙලා ඇඳට යනවා. ටික වෙලාවකින් අම්මා ඇවිත් මාව ලඟට අරන් ආදරෙන් කතා කරලා වඩාගෙන එක්කගෙන යනවා. උසස් පෙළ කරන කාලෙ වෙනකන්ම එහෙමයි. වඩාගන්න බැරිඋනාට මගේ අතින් අල්ලලා ඇඳෙන් නැගිට්ටවාගෙන එක්කන් යනවා. අම්මා තරහා උනාමත් ඉස්සර මම අම්මා ලඟට ගිහින් "අම්මා මාත් එක්ක තරහද?" කියලා අහනවා. අදටත් හැමදාම උදේට අම්මා හරි තාත්තා හරි, කිරි කෝප්පෙ ඇඳ ලඟට ගෙනැත් දෙනවා. ඒත් මම ගොඩක් නපුරු උනා. අම්මාගෙන් තරහද අහන්න කියලා හිත කියත්දි ඒක අහගන්න බැරුව අම්මා එක්ක කතා නොකර ඉන්න පටන් ගත්තා. මට ඒ හැමදේම ඊයෙ මතක් උනා.


මම උසස් පෙළට විද්‍යා විෂයන් වලට පන්ති යන්න පටන් ගත්තෙ ප්‍රථිපල ආවාටත් පස්සෙ. ඒ අම්මලාගෙ ඕනකමට. අවුරුද්දක් විද්‍යා විශයන් කරලා කලා විෂය ධාරාවට මාරු උනේ ගොඩක් අමාරුවෙන්. ඒත් කිසිම අපහසුවක් නැතුව අවුරුද්දකින් ඉගනගෙන උනත් විභාගෙට ලියලා විශ්ව විද්‍යාලයකට එන්න සුදුසුකම් ලැබුවා. මම පාඩම් කරෙත් මාස 3ක් විතර. ඒක නම් මගේ වාසනාවක්ම තමයි.  


අම්මා මාව ගොඩාක් පරෙස්සම් කරා. අදටත් එහෙමයි. සමහරවිට ඒ මට ගොඩක් අපල තියනවා කියලා කියන නිසා වෙන්න ඇති. මට කිසිම නිදහසක් නෑවගේ මට දැනෙන්න පටන් ගත්තෙ කැම්පස් යන්න ඉත්දි. අම්මා හැමදාමත් මට කිව්වෙ ඉස්කෝලෙ යන කාලෙ කාත් එක්කවත් යාලුවෙන්න එපා කියලා. අම්මා මම යන එන හැමතැනකටම ආවා. ඒ වගේම මම කාත් එක්කවත් යාලු උනෙත් නෑ. අම්මා මාත් එක්ක ආපු එක කරදරයක් විදිහට දැනුනෙත් නෑ. ඒත් ඉස්කෝලෙ ගිහින් ඉවර උනාට පස්සෙ මගේ නිදහස මම ඉල්ලුවා. එතකොටත් පරණ විදිහටම මාව පරෙස්සම් කරන්න හදනවා කියලා දැනෙත්දි මට ඇති උනේ තරහක්.


මම මගේ ජීවිතේට තනියම ප්‍රතිපත්ති හදාගත්ත කෙනෙක්. ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනකම් කිසිම කෙනෙක් එක්ක යාලු වෙන්නෙ නෑ කියලා, බීච් එකකට ෆිල්ම් හෝල් එකකට කොල්ලෙක් එක්ක යන්නෙ නෑ කියලා, ඒවගේම බස් එකක ගියත් ගොඩක් විනීතව යනව කියලා, ඒ වගේ ගොඩක් සීමාවල් මම මටම දාගත්තා. ඒ වගේම කිසිම දවසක අම්මලාට බොරුවක් කරේ නෑ. මගේම සීමාවල් මට තියෙද්දි ඇයි අම්මලා තවත් මේ තරම් මාව පාලනය කරන්නෙ කියලා මට හිතුනා.


ඒ තරහා නිසාම මම ගොඩක් නපුරු උනා. මගේ හිත රිද්දා ගත්තා. ඒ නිසාම අම්මලාගෙත් හිත රිදුනා. හැමතිස්සෙම මම හිටියෙ තරහින්. මගේ නිදහස ඉල්ලලා මම ඇඬුවා. හැමතිස්සෙම මගේ උදාහරණය උනේ නංගි. ඒකට හේතුව මම නංගිගෙ වයසෙදි නොලබපු තරම් නිදහසක් එයා ලබන නිසා. හැබැයි මේ හැමදේම වෙත්දි හැමදාමත් අම්මාලා මාත් එක්ක ආවාට ගෙදර ඕනම තීරණයක් ගන්න අයිතිය මට නිකම්ම වගේ ලැබිලා තිබුනා. ගෙදර ඕනම කෙනෙක්ට අණ දෙන්න උනත් මට පුලුවන් වගේම මම කියන දෙයක් නොපිලිගත්තෙ නැති තරම්. මොකද හැමදෙයක්ම කියත්දි තර්කයක් එක්ක කියන්න මට පුලුවන් උන නිසා. ඒ වගේම හිතලා තීරණ ගන්න මට පුලුවන් කියලා අම්මලා විස්වාස කරා.


අද වෙත්දි කිසිම කෙනෙක් මට කිසිම දෙයක් කරන්න කියලාවත් එපා කියලාවත් බල කරන්නෙ නෑ. හැමදෙයක්ම හිතන අයිතිය මට තියනවා. ඒත් මාව ගොඩක් ආරක්ශා කරන්න හදනවා කියන එක අදටත් මට ගොඩක් දැනෙනවා. ඒත් මගේ හිතේ ගොඩක් දේවල් නිසා තිබුන තරහා අයින් කරන්න පටන් ගත්තා. දැන් මට දැනෙන්නෙ මට phone එකක් වත් ඕනෙ නෑ වගේ. මාව බාහිරට ඇදලා ගන්න පුලුවන් හැමදේකින්ම ගොඩක් දුරට මම දැන් ඈත් වෙලා. ඈත් වෙන්න පුලුවන් හැමදේකින්ම ඈත් වෙලා ආයිත් මම ඉගන ගන්නවා. ඒක විතරක්ම ජීවිතේ කරගන්නවා. හැමදෙයක්ම දිහා බලලා දැකලා සතුටු වෙනවා මිසක් ඒවා මගේ ජීවිතේ එක්ක සංසංදනය කරන්නෙ නෑ මීට පස්සෙ. කලකිරීම් එක්ක ජීවත් වෙනවාට වඩා හැම දේකින්ම ඈත් වෙන එක ලේසියි.

10 comments:

ChammA

:O මොකද මේ එකපාරටම

N N K

වෙනස් වෙන එකනම් හොදයි තමා. හැබැයි පොඩි දෙයක් තියනවා එක තමයි අම්ම එක්ක තාත්ත එක්ක තරහ වෙන එක නම් හොද දෙයක් නෙවෙයි. සමහර විට ඒවා අපිට තේරෙනකොට අපි පරක්කු වැඩිවෙන්න පුළුවන්. මතකනේ අජාසත්ත කුමාරයට වෙච්ච හරිය. මම හිතනවා ඔය පරක්කු වැඩි නැ කියල. කොහොම උනත් ඉගැනීම අමතක වෙච්ච එකනම් වැරද්දක්. වෙනස් වෙන්න හිනාවෙලා ජීවිතේට මුණ දෙන්න. අනාගතය ඔබගාව තියේවි. ආ........ ඇත්තටම ඇයි ෆෝන් එක අතාරින්න තීරණය කලේ වදයක් නිසාද නැත්නම් ඒ නිසා දුක හිතෙන නිසාද...???
කොහොම උනත් ඔබට ජය හැමදාම හිනාවෙලා ජීවිතේට මුණ දෙන්න....

හංසි

මම අම්මයි තාත්තායි එක්ක තරහා නෑ. තරහා වෙලත් නෑ. සමහර දේවල් නිසා මම නපුරු උනා කියලයි කිව්වෙ. ඒත් කිසිම දවසක මම අම්මලා එක්ක තරහ වෙලා නම් නෑ. නංගියි මායි සංසංදනය කරලා බලත්දි අදටත් මට දුකයි. සමහර දේවල් ගොඩාක් පොඩි දේවල් වෙන්න ඇති. එකක් මම පුංචි කාලෙ කිරි බෝතලෙන් බොන්න ආසයි. ඒත් මම පුංචිම කාලෙදි මට බලෙන්ම කෝප්පෙන් බොන්න දුන්නා. මම ගොඩාක් ඇඬුවා. ඒත් නංගි ගොඩාක් කල් වෙනකම් කිරි බෝතලෙන් බිවුවා. මේවා පොඩි දේවල් වෙන්න ඇති. ඒත් ඒවා මගේ හිතට ගොඩක් කාලයක් තිස්සෙ බලපෑවා.

ඒකයි හැමෝටම නපුරු උනේ. නපුරුයි කියන්නෙත් වෙන අය වගේ නපුරුයි කියන එක නෙවෙයි. මම පුංචිම කාලෙ හිටපු විදිහට සාපේක්ශව නපුරුයි කියලයි කිව්වෙ. හැබැයි ගොඩක් දෙනෙක්ට ඒක දැනෙන්නෙත් නෑ. (දැන් නම් පොඩ්ඩක් වත් නපුරු නෑ හැබැයි. මොකද මේක මගේ ජීවිතේ පුරාවට මතක සටහන් ටිකක එකතුවක්.) මම ගොඩක් පැහැදිලිව කියලා නැතුව ඇති. මට එක පාරටම හිතුන දේවල් ටිකක් කිසිම ගැලපීමක් නැතුව ලිව්වෙ. මම කවදාවත් කිසිම කෙනෙක් එක්ක දවසකට වත් තරහ වෙලා නෑ.

ගොඩක් ස්තූතියි මොනවා හරි ලියලා ගියාට.

මකුළු පැංචි

මටනං හංසියෝ ඔයාව හොඳටම තේරේනවා..ඒත් දෙයක් කියන්නම්..මම මගේ හිත හදාගත්ත විදිහ ගැන..

ඔයා වගේම තමා මමත්...මම පවුලෙ එකම ළමයා..ඒ නිසා මම මගේ ජිවිතේ සසඳලා බැලුවෙ මගේ හොඳම යාළුවා එක්ක..එයාට එයාගෙ ගෙදරින් තිබ්බෙ පුදුම නිදහසක්.පොඩි කාළේ මං ගෙදර අය එක්ක ඒ නිසා පුදුම කේන්තියෙන් හිටියෙ..අඩුගානෙ මට මම කැමති ඇඳුමක් කැමති තැනකට අදින්න නිදහසක්වත් තිබුන්නෑ..පන්ති යනව වගේ එදිනෙදා ගමනකදි වුනත් අම්මා කියන එක තමා අඳින්න ඕනේ.කවදාවත් මට යාලුවන්ගෙ සාද වලට යන්න ඉඩ දුන්නෙ නෑ.එයාලට මාව එක්කං යන්න වෙලාවක් තිබ්බෙත් නෑ.මට තනියම යන්න දුන්නෙත් නෑ.උසස් පෙල පන්තියට එනකලුත් එහෙමයි.අඩුම ගනනෙ ශිෂ්‍යනායිකාවක් වුණ කාලෙ පාසලේ ආරක්ෂාව යටතෙ යන්න තිබුනු වෙනත් පාසල් වල විද්‍යා දින වගේ ඒවටවත් යන්න ඉඩක් ලැබුනෙ නෑ.යාලුවො,විශේශයෙන්ම මගේ හොඳම යාලුවා එහෙම විවිධ විෂය බාහිර දේවල් වල යෙදිලා ඒ අවස්තාවලදි ලබපු විනෝදය ගැන හමුවුණු අලුත් යාලුවො හැන තොරතෝංචියක් නැතුව කියවද්දි මට ඇති වුණේ පුදුම දුකක්..අම්මා මම ඉස්කෝලෙන් පස්සෙ නවතිනවට අකමැති වුණු නිසා මට පාසල් කාලයෙන් පස්සෙ පුහුණු කරපු කිසිම ක්‍රීඩාවකටවත්,බාලදක්ශිකා,කැඩෙටින් වගේ දේකටවත් යන්න මට බැරි වුණා..දැන් වුණත් ඒ ගැනනම් තියෙන්නෙ ලොකු පසුතැවිල්ලක්...

අම්මා මාව රටෙන් පිට එවන්න එකඟ වුණාම මටනං අදහගන්නත් බැරි වුණා.මම මගේ ස්වාධීනත්වය එක්කහු කරගත්තෙ ඉගෙනගන්න මෙහෙ ආවට පස්සෙයි.තනියම වැඩක් කරගන්න හැටි..හරි වැරැද්ද තනියම වටහගන්න හැටි..හැමදේම..දැන් ඉස්සර තරම් තද නැති වුණත් ගෙදර ගියාම තාමත් තනියම එලියට බහින්න අවසරගන්න හරි අමාරුයි..මෙච්ච්ර අවුරුදු ගානක් තනියම පිටරටක හිටියට පස්සෙත්.. :D..ඔයාටත් වඩා නපුරු..පහත් දුෂ්ට සිතුවිලි මට මගේ අම්මි ගැන ඇති වෙලා තියෙනවා තරහින් පිස්සු වැටිලා හිටපු වෙලාවල් වල..ඒ අතින් නම් මට මගේ ගැනම පිළිකුල්.. :((

මටනං හිතෙන්නෙ ඒ එයාල හැදිච්ච වටපිටාව ,කාල විපර්ය්‍යාස, පිළිගැනීම් සහ දරුවන් ගැන ඇති දැඩි ආදරය කියන හැම දේකම එකතුවක් නිසා ඇතිවුණු මානසිකත්වයක්..එයාලගෙ යටිහිතේ තියෙන දේවල් එක්ක අපි කොච්චර උඩ පැනලා අඬලා නිදහස ඉල්ලා හිටියත් අපේ මට්ටමට වැටිලා බලන්න එයාලට අමාරුයි..ඔයාගෙ විරෝධතා ගැන බලලා එයාල පොඩ්ඩක් තේරුම්ගන්න ඇති..ඒ නිසයි නංගිට ඊට වඩා පුංචි බුරුලක් දෙන්නෙ..සමහරවිට ඔයාට ඔය දැන් ලැබෙන්නෙ ඇත්තටම එයාල ඔයාට දෙන්න හිතාගෙන හිටියට වඩා දශමයක් හරි වැඩි නිදහසක් වෙන්න ඇති..ඒකයි තවමත් එයාලට ඒකේ වරදක් නොපෙනෙන්නෙ...ඒ නිසා ඔය හැටි ඒ ගැන පසුතැවෙන්න එපා.කරන්න පුලුවන් හොඳම දේ විදිහට මමනම් දකින්නෙ එක දෙයයි..අනික් අතට දැන් ඔහොම හිතුනට පන්ති එක්කං යන්න..ගෙදරදි හැම වෙලේම අපි වටේ කැරකි කැරකි ඉන්න,අම්මා තමන් ලඟ හිටියනම් කියලා දැනෙන්නෙ ඇත්තෙන්ම ඒ වාසනාව නැති කාලෙටයි හංසි..හරියට මේ හොස්ටල් කාමරේ තනි වෙලා ඉන්න වෙලාවට මට දැන්නවා වගේ...

අපි ගැහැණු ළමයි..දවසක අම්මලා වෙන්නෙත් අපිමනෙ..එදාට අපට අහිමි වුණු නිදහස..අපේ දරුවන්ට නොලැබී නොයන තැනට වගබලාගන්න එකයි කරන්න පුලුවන් එකම දේ..(සීමාවක් රහිතව නෙවෙයි සහිතව)

දඩබ්බරී

මකුළු පැංචි අක්ක කියපු කතාව හරි හංස පිහාටුව...
මම පවුලේ වැඩිමලා උනාට පවුලේ බාලය මල්ලි..සමහර වෙලාවට අපි දෙන්නට සලකන විදිය වෙනස්.ඒ නිසා මං හිත රිදව ගත්ත වාර අනන්තයි..තරහ ගිහින් තියෙනව අම්බානක...සමහර විට ඔයා කිව්වා වගේම ඒවා ගත යුත්තක් නොවෙන්නත් පුළුවන්.
හැබැයි අන්තිමට ඔයා ගත්ත තීරණේ හොදයි සංසන්දනය නොකරන්න.

"කලකිරීම් එක්ක ජීවත් වෙනවාට වඩා හැම දේකින්ම ඈත් වෙන එක ලේසියි"
මෙන්න මේ කතාවට නම් දඩ්බ්බරි කැමති නැහැ.මේ ලෝකේ අත්හරිනවා තරම් වේගෙන් සිද්ද කරන්න පුළුවන් දෙයක් තවත් නැහැ.නමුත් විය යුත්තේ ඔය මේ දේවල් දිහා බලන විදිය වෙනස් කර ගන්න එක.එතකොට ඔයා සමබරව ජීවිතේට මුණ දෙයි.

හංසි

@මකුළු පැංචි- ඇත්තමයි මගෙන් කියවුනේ නැති මම අත්විඳපු දේවල් ඔයා කිව්වා. මම හිතුවෙ නෑ මගේ තත්වය තේරුම් අරන් එක කමෙන්ට් එකක් හරි වැටෙයි කියලා. ඔයා කියන දේ ඇත්ත. මේ තත්වය අත්විඳපු කෙනෙක් විතරමයි මේ වගේ තත්වයකදි හිතට දැනෙන පීඩනය දන්නෙ. ,මට දැනෙන පීඩනය ගැන කිව්වාම එයාලා අහන්නෙ " අම්මා පුතාට ආදරේ නැත්ද පුතේ" කියලා. එතනදි මාත් අසරණයි. මේ වගේ දේකට මුහුණ දීපු නැති කිසිම් කෙනෙක්ට මේක තේරුම් ගන්න බෑ. බොහොම ස්තූතියි මාව තේරුම් අරගෙන කමෙන්ට් එකක් දැම්මාට.

@දඩබ්බරී- මගේ අම්මාටයි තාත්තාටයි හොඳ වෙලාවට පිරිමි ලමයි නෑ. එහෙම කෙනෙක් හිටියා නම් මට මීට වඩා දුකක් දැනෙයි. අපේ තාත්තලා හැදුණු පරිසරය ඇතුලෙ පිරිමි ළමයින්ට තියෙන්නෙ අසීමාන්තික බලයක්. එහෙම පරිසරයක් අපේ ගෙදර ඇති උනා නම් මට ජීවිතේත් එපා වෙයි. හැබැයි අපේ පවුලෙ පිරිමි ළමයි නැති නිසාම අපේ ගෙදරදි ගැහැණු ළමයි නිසා ඕක කරන්න එපා කියන තත්වෙ නම් අපේ තාත්තා ඇති කරලා නෑ. තාත්තා අපි පුංචි කාලෙ ඉඳන්ම අපිට කඳු නගින්න වහලට නගින්න, අයන් එක කැඩුනම හදාගන්න, ලයිට් නැති උනාම චෙක් කරන්න, බය නැතුව ඕනම දෙයක් කරන්න හුරු කරා.

ඒ නිසාම අපේ තාත්තාගෙ කකුල සතෙක් කාපු වෙලාවෙ මහා වැස්සෙ තෙමි තෙමී කලුවරේ මම බෙහෙත් හෙවුවා. පිරිමි ළමයෙක් පවුලෙ නෑ කියන එක අඩුවක් විදිහට දැනෙන්නෙ නැති වෙන්න තාත්තා අපිව හැදුවෙ. තාත්තාගෙ පවුලෙ පිරිමි ලමයෙක් නැත්තෙ අපේ ගෙදර විතරයි. ඒත් තාත්තාගෙ නෑදෑයො අතරට ගියාම ගෙදරදි අපි ගැන හිතනවාට වඩා වෙනස් විදිහකට තාත්තා හිතනවා කියලා මට දැනෙනවා. ඒ වෙලාවට නම් මට තරහයි. ගෙදරින් පිට වැඩ වලදි ඕවා ගැහැණු ළමයින්ට තේරෙන්නෙ නෑ කියනවා වගෙයි වැඩ කරන්නෙ.

සමබරව ජීවිතේට මුහුණ දෙන්න පුලුවන් හොඳම ක්‍රමය මම හොයනවා. සමහර විට ඒක ඔයා කිව්වා වගේම වෙනස් විදිහකට හිතන එක වෙන්න ඇති. ඔයාටත් ගොඩක් ස්තූතියි.

$කුබුවි$

ඔය කාලෙදි අම්මලගේ තාත්තගේ තහන්චි නීති හින්දා දුක් වෙන, ජීවත් වෙන එකත් එපා වෙන තරමට කලකිරෙන කොල්ලොත් ඉන්නවා හංසි.
ඒත් ඒ හැම දෙයක්ම සිද්ද උනේ අපේම හොඳට බව තෙරෙන්නෙ ගොඩක් කල් ගිහිල්ලා.

මමත් ඒ හැම දෙයක්ම විඳපු කෙනෙක්.......:) ඒත් අද නම් දුකක් නෑ මට ,පුදුම ගෞරවයක් තියෙන්නෙ අම්මා තාත්තා ගැන.සමහරවිට ඒ නීති තහන්චි නොතිබුනා නම් අද මම මෙතන නැති වෙන්නත් ඉඩ තිබුනා....

හංසි

@$කුබුවි$- මම හිතුවෙ නෑ පිරිමි ළමයිත් තහන්චි නීති නිසා දුක් වෙනවා කියලා. එහෙම නම් ඉතින් අපේ ගෙදර පිරිමි ළමයෙක් හිටියා නම් එයාට වෙන දේ මතක් වෙලා මට දැනටමත් හිනා යනවා. හදිස්සියෙ 12, 13 වසරෙදිත් අම්මා එක්ක ක්ලාස් යන්න උනොත්?? ඒකෙ තියන සතුට.............. මතක් වෙත්දිත් මට හිනහයි. :D

මම කවදාවත් අම්මා තාත්තා වැරදියි කියන්නෙ නෑ. කියන දෙයක් ඉක්මනටම තේරුම් ගන්න පුලුවන් බුද්ධියක් තිබුනාට පොතක් අතින් වත් අල්ලන්න අකමැති මාව මෙච්චර දුරක් ගෙනාවෙ අපේ අම්මාගෙ මහන්සියෙන්. ළමයෙක්ට උගන්වන්න අපේ අම්මා තරම් කැපවෙන කෙනෙක් තාම මම දැක්කෙ නෑ. මම මෙච්චර කාලයක් ගත්ත රිසල්ට්ස් වලින් 99%ක්ම අම්මාගෙ.

මධුරංග

මුලින්ම කියන්නම් මොන දේ උනත් දෙමව්පියන් එක්ක තරහා වෙලා ඉන්න එකනම් එච්චරටම හොදයි කියලා කියන්න පුලුවන් දෙයක් නෙමෙයි. මොකද අම්මයි අප්පච්චියි මොනදේ කලත් කරන්නේ අපට තියෙන ආදරයට අපට ආරක්ශාවක් දෙන්න ඕන කියලා හිතලා.

නංගිට කියන්න කොල්ලෝ උනාට අපටත් ඔය පොඩි කාලෙදි (ඉස්කෝලේ යන දවස්වල) කෙල්ලෙක් ගන නෙමෙයි කෙල්ලෙක් දිහා හැරිලා ටිකක් විතර වඩිපුර බැලුවොත් අම්මා රවනවා. මොකද ඒ කෙල්ල දිහා කන්න වගේ බලන්නේ කියලා අහනවා.

මට ඉස්සර ඕක මාරම වදයක්. මොකද කෙල්ලෙක් එක්ක යාලු වෙන්න මට ඉස්සර ඕනකමක් තිබ්බා. ආදරයක්ම නෙමෙයි ඒක. ගොඩක් කොල්ලන්ට කෙල්ලෝ හිටපු හන්දා ඇති වෙච්ච ඕනකමක්.

මට මතකයි අපේ මල්ලි කෙල්ලෙක්ට ලියපු ලියුමක් අහුවෙලා බැනලා කතා නොකර හිටියත් එක්ක.

නමුත් මේ තත්ත්වේ උඩ ඉවසගෙන හිටියා. කොහොමහරි හොදට විභාගේ ලියලා කැම්පස් ආවා. කම්පස් ආවට පස්සේ අපේ අම්මම මගෙන් අහනවා තාම කෙල්ලෙක් යාලු උනේ නද්ද කියලා. හික්ස් :) මතක් වෙද්දිත් හිනා.

කොහොමහරි කෙල්ලෙක් යාලු උනා. එයා ගැන අපේ අම්මගෙනුත් අහලා තමයි යාලු උනේ. අම්මා මට ගොඩක් වටින උපදෙස් එහෙම දෙනවා. සමහර දාට ගෑනු ලමයත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් උනාම උපදෙස් ගන්න අම්මව අමතන්නත් අමතක වෙන්නේ නෑ. කොටින්ම අපේ අම්මා මගේ හොදම යාලුවා වගේ.

මම් යාලුවෙලා හිටපු ගෑනු ලමයා මාව දාලා ගිය වෙලේත් මගේ හිත හැදුවේ අපේ අම්මා.

ඔන්න මට හ්තුන දේවල් මම් එහෙම්මම කිව්වා. මුකුත් වෙනස් නොකරම. කට්ටිය පත කමෙන්ට් දම්ම හන්දා මාත් ලොකු කමෙන්ට් එකක් දැම්මා ආයේ මදි නොකියන්න. මේ ඇද්ද කමෙන්ට් එකට?

Shani (ශානි)

හංසියෝ මට හම්බුනු යාලුවන්ගෙන් අහිංසකම හිතක් තිබ්බ යාලුවෙක් තමයි ඔයා,, කොච්චර නපුරු වෙන්න උත්සහා කලත් ඔයාට එක කරන්න බෑ,, ජීවීතේට එන ප්‍රශ්න වලදී හදිසි නොවී කල්පනාවෙන් වැඩ කරන්න.. ඒ වගේම අම්මලා අපිට නිතී දාන්නේ අපිට තියෙන ආදරේටමනේ,, අපිට වඩා ජීවීතේ ගැන එයාලට අත් දැකිම් තියෙනවනේ...

කොහොම වුනත් වෙනස් වෙන්න කියලා ඔයා හිතපු එක නම් හොදයි.. :) හැබැයී ඉස්සර හිටපු මගේ අහිංසක යාලුවා නැති වෙන විදිහට නම් වෙනස් වෙන්න එපා හොදේ.. ඔයා ආයි එනකන් අපී තාමත් බලන් ඉන්නවා..:(((( ඉක්මනට එන්න..

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..