Buscar

මාතර ලස්සනයි...



හැමදාමත් ගමේ ලස්සනයි ගමට තියන ආසාවයි ගැන කිව්වාට ඉපදුණු දවසෙ ඉඳන්ම මගේ ජීවිතේ හොඳටම අඳුරන මගේ ගෙදර ගැන කිසිම දවසක මේ බ්ලොග් එකේ තාම ලියවිලා නෑනේ.. ගෙදර තියෙන්නෙ ඉතින් මාතර නේ.. ගම තියෙන්නෙ නම් මාතර ඉඳන් බස් එකේ ගියොත් පැය 8 කටත් වඩා දුරින්. මාතර ටවුන් එකේම තියන අපේ ගෙදර පරිසරය ගම තරම්ම ලස්සන නැති උනාට අමුතුම ලස්සනක් ඒ පරිසරයෙත් තියනවා. ගෙදර මිදුලට ගියාම ඈතින් නිල් පාටට පේන කඳු පන්තිය, පැත්තෙන් පේන පන්සලේ චෛත්‍යයේ කොත, කොළ පාට ගස් කොළන්.. මේ හැම දෙයක්ම මාව නගරයේ තියන කටුක බවින් ඈත් කරනවා.


අපේ ගෙදර තියෙන්නෙ පුංචි කන්දක. එක ලඟින් ගෙවල් ගොඩක් තිබුනාට අමුතුම නිස්කලංක බවක් ඒ පරිසරයෙ තියනවා. සමහර වෙලාවට ඒ ගෙවල්වල් ඉන්නෙ කවුද කියලාවත් නොදන්නවා උනාට, ගමේදි වගේ නෑදෑයො නැති උනාට අපේ ගෙදර ඇතුලෙ, මිදුලෙ විතරක් අපි ගෙවන ජීවිතෙත් කම්මැලි කමක් නම් දැනෙන්නෙ නෑ. සමහර විට අපි ඒ ජීවිතේට පුංචි කාලෙ ඉඳන් හුරු උන නිසා වෙන්න ඇති. අපේ ගෙදර මිදුලෙ ගස් ගොඩක් තියනවා. හැම එකක්ම ලොකු ගස්. අපේ අම්මලාගෙත් අපෙත් කාර්යබහුලත්වය නිසාද මන්දා ලස්සනට මල් වවලා මිදුල ලස්සන කරල නැති උනාට මගේ ආසාවට ගෙදර ඇති කරන සත්තු, වත්තෙ ඉන්නකොට මල් වැවුවාටත් වඩා ලස්සනයි කියලයි මට දැනෙන්නෙ. 


අපේ ගෙදර තියන කන්දෙන් අනිත් පැත්තට බැස්සොත් මාතර මුහුදු වෙරළෙ ලස්සනම කෙළවරට එන්න පුලුවන්. අපේ ගමෙන් නෑදැයො ආපු දවසට නම් ඒ කන්දෙන් බැහැලා අපි වෙරළට යනවා. එතන ඉන්න කකුළුවො බල බල, ගලින් ගලට පැනලා මුහුදු වතුර පිරුණු වලවල් වල ඉන්න පුංචි මාලුවො මුහුදු අශ්වයො බලනවා. එහෙම දවසක ගෙදර යන්නෙ නම් ඇඳුම් ඔක්කොම තෙත බරිත කරගෙන. ලස්සනම ලස්සන මාතර මුහුදු වෙරළෙ ලස්සනම තැන එතන කියලයි මම නම් දන්නෙ. 


අපේ ගෙදර තියන කන්දෙ මොණරු ඉන්නවා. පිල් විහිදගත්ත මොනරෙක් කලාතුරකින් උනත් දකින්න ලැබෙන එක කොච්චර වාසනාවක්ද? දඬු ලේන්නු ඇවිත් අඹ ගස් වල ඉන්නකොට, වැලි අනෝදා ගහේ ගෙඩි කනකොට මම බලන් ඉන්නෙ හරිම ආසාවෙන්. හැමදාමත් වැලි අනෝදා ගහේ ගෙඩි කන්නෙ දඬු ලේන්නුයි වඳුරොයි විතරයි. එයාලා කාල ඉවර වෙත්දි අපිට ඉතුරු වෙන්නෙ නෑ. ටවුන් එක කිට්ටුවම මේ වගේ පරිසරයක් තියන එක කොච්චර වාසනාවක්ද? හදිස්සියකට මාතර ටවුන් එකෙන් බැහැලා පයින් එන්නත් පුලුවන් නිසා, හැම පහසුකමක්ම අත ලඟින්ම තියන නිසා අපි ඉන්න ගෙදර තියන තැන ගැන නම් ආඩම්බර වෙන්නම ඕන. 


මම ඉතින් ඉස්කෝලෙට යන්න ගෙදරින් එළියට බහින්නෙත් 7.15 පහුවෙලානේ. 7.30ට ඉස්කෝලෙ පටන්ගනිත්දි ඒ වෙලාවට ගියාම ඉස්කෝලෙ ඉන්න පුලුවන්. නිල්වලා ගඟ පහුකරගෙන උදේට ඉස්කෝලෙ යත්දි සමහර දවසට ගඟෙන් එහා පැත්තට වෙලා ඉන්න කිඹුලත් බලාගන්න පුළුවන්. මුහුදු හුළඟෙ සීතල වැදි වැදි ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුලට දුවගෙන යන හැටි මට තාමත් මතක් වෙනවා. සමහර දවසට කම්මැලි හිතුනාම ෆෑන් එක දාගෙන නිදාගන්න හැටි මතක් වෙලා හිනා යනවා. එහෙම දවසක ස්කූල් ඇන්තම් එක කියන වෙලාවට තමයි ඇහැරෙන්නෙ. 


කැම්පස් යන්න මෙහෙ ආවට පස්සෙ හැමදාමත් සිකුරාදා වෙනකම් බලන් ඉන්නෙ ගෙදර දුවන්න. ගෙදර ඉන්න හා පැටවු, බලු පැටවු මතක් වෙත්දි හැමදාම ගෙදර නවතින්න හිතෙනවා. දැන් නම් මේ ජීවිතේ පුරුදු වෙලා. බස් එකේ පැය 5ක් විතර යන ගමන මතක් වෙත්දි එපා උනාට ගෙදර ලං වෙත්දි ඒ මහන්සිය නිකම්ම නැති වෙලා යනවා. කොහොම උනත් මම ඉපදුණු දා ඉඳන්ම අද වෙනකම් මගෙ ජීවිතේ දුක සතුට දැකපු මගේ ගෙදර හැමදාමත් මට වටිනවා...

13 comments:

Dinesh

හංසීලගේ ගෙවල් පැත්ත හරි ලස්සනයිනේ.... අපිත් එන්නද දවසක මාතර මුහුදට යන්න...

Anonymous

මේ බ්ලොග් 1 කේ දාලා තියන වැඩ කෑලි .......... හැබෑට මාතර කොහේද ? අපිත් මාතර තමා.
( Sameera )

Unknown

ඔය පැත්ත හරිම ලස්සනයි හංසි..අපි නම ගිය මාසේ මාතර ගියපු වෙලාවෙත් පරවී දුපතට ගියා.. :D

සංකල්ප

මමත් අර මූද මැද්දේ තියෙන පන්සලට ගිහින් තියෙනවා. ඒක නම් මරු පංසලක්. ඔයාලගේ පැත්ත මාරම ලස්සනයි නේ. මුහුද, ලුණු හුලග මේ දේවල් වලට මම් හරිම ආසයි.

හංසි

@දිනේෂ්- ගෙවල් පැත්තෙ අමුතුම ලස්සනක් තියනවා අයියේ. ලස්සන දකින්න වෙලාවක් තියනවා නම් ඒ ලස්සන දකින්න පුලුවන්. ලංකාවට ආපු වෙලාවක එහෙනම් මාතර පැත්තෙත් එන්නකො.

@ඇනෝ- මොකද සමීර මේ ඇනෝ කමෙන්ට් එකක් දාලා?? ඔයා බ්ලොග් ලියන සමීරම නම් ඔයා මාතර කියලා මම දන්නවා. :D අපේ ගෙදර නම් මාතර ටවුන් එක කිට්ටුවමයි.

@ChammA- පරවි දූපතට දැන් යන්න පුලුවන් උනාට මම නම් ආස ඉස්සර ගස් වලින් පිරිලා තිබුණ පුංචි දූපතට. ඒකෙ තිබුන ස්වභාවික ගතිය මෙතන නෑ.. කොහොම උනත් පරවි දූපතේ පහල තියන ගල් වල මුහුදු රැල්ල වැදිලා විසිරිලා යන හැටි බලන් ඉන්නත් ආසයි.

@මධුරංග- පන්සල විතරක් නෙවෙයි අයියේ මාතර වෙරළ දිගේම ගියොත් අයියාටත් තේරේවි ඒ වෙරළ කොච්චර ලස්සනද කියලා. නිල්වලා ගඟ මුහුදට වැටෙන තැනත් තියෙන්නෙ ඒ කිට්ටුවමයි. අනිත් ෆොටෝ එකේ දාලා තියෙන තැන ගැන තමයි මම කියලා තියෙන්නෙ. එතන වතුර අඩු කාලෙට ගොඩක් ලස්සනයි. හැබැයි මම ගිහිල්ලාත් තියෙන්නෙ දෙපාරයි. ගමෙන් ආපු වෙලාවට විතරයි අපි බීච් යන්නෙ.

N N K

ඇත්තද මාතර එච්චරම ලස්සනද? අපි දන්නේ නැනේ. මරුනේ එන්න ඕන දවසක බලන්න. කොහොම උනත් කාට උනත් තමන්ගේ ගෙදර තරම් නින්ද යන වෙන තැනක් නැනේ. දාපු පොටෝ ටික නම් ලස්සනයි.. තීම් එකත් ලස්සනයි....

හංසි

@NNK- ඉතින් ඔයාත් මාතර නේ. ඉරිසියාවට කියන කතා ඕවා. කොහොම උනත් ගෙදරට නම් මාත් ආසයි තමයි.. කොහෙ හිටියත් ගෙදර වගේ නෑනේ. ෆොටෝ නම් ඉන්ටනෙට් එකෙන්.. තීම් එක මගේ හොඳ යාලුවෙක් හොයලා දුන්නෙ. එයාට තෑන්ක්ස්.. :D

N N K

වැඩෙමයි මට ඉරිසියා කරන්න. මම නම් ඉරිසියාවක් නැ. කව්ද අනේ ඔයාගේ හොද යාලුවා තීම් එක හොයලා දුන්න. කියන්න බැරිද මටත් එකක් හොයල දෙන්න කියල... මාතර ලස්සනයි (ලු) අපි නම් දන්නේ නැ. ඇවිල්ලම බලන්න ඕන....

දඩබ්බරී

ඔයා මාතරින් ඈත් වෙනකොට මම මාතරට ආවා..මාතර මුහුදු වෙරළට නම් මමත් ගොඩක් ආසයි..ලස්සනයි..
තමන් ඉපදිලා හැදුන වැඩුන පළාත තරම් වෙන කොහෙවත් ලස්සන නෑ..

මාත් එන්නද ඔයාගේ හා පැටව් බලන්න දවසක.??

හිම හංසි

අපිත් මාතර නෙ.බලන් යනකොට බ්ලොග් ලියන හුගක් අය මේ පෑත්තෙ නෙ

හංසි

@NNK- ඔයාට එයාගෙ නම කියන්න බෑ. එතකොට ඔයත් එයාට කියලා තීම්ස් හොයාගනීවි නේ. ඇවිල්ලා බලන්නකො එහෙනම් මාතර නෙවෙයි නම් ඉන්නෙ. :

@දඩබ්බරී- ඒ කියන්නෙ ඔයා මාතර නෙවෙයි කියන එකනේ... දැන් නැවතිලා ඉන්නෙ මේ කිට්ටුවමද?? එහෙනම් දවසක ඇවිත් යන්න එන්නකො. හා පැටියාත් බලලා යන්න පුලුවනි.

@හිම හංසි- මම නම් දන්නවා ඔය මාතර කියලා. බ්ලොග් ලියන ගොඩක් අය මාතර ඉන්නවා නම් තමයි. ඒත් කවුරුවත් දැකලා වත් ඇති තරම්.

සරත් ලංකාප්‍රිය

ඔන්න දැන් ඉතින් ඔය පැත්තේ යනකොට බලන්න වෙනවා ඔය කියන තැන.. වට පිට බලන් එලවන්න ගිහින් මොකක හරි හැප්පුනොත් වගකීම ඔයාගේ සටහනට තමයි..

දඩබ්බරී

මම රත්නපුරේ...මාතර town ඒකට බොහොම කිට්ටුව තමයි නැවතිලා ඉන්නේ..

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..